February 26, 2026

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය ‘කේරළම්’ ලෙස නම්කිරීම සඳහා මධ්‍යම කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන් බව මධ්‍යම අමාත්‍ය අශ්විනි වෛෂ්ණව් නිවේදනය කළේය.

2024 ජුනි 24 වන දින, කේරළ සභාව ඒකමතිකව මධ්‍යම රජයෙන් ප්‍රාන්තය ‘කේරළම්’ ලෙස නැවත නම්කරන ලෙස ඉල්ලා යෝජනාවක් සම්මත කර තිබිණි.

අප්‍රේල්-මැයි මාසවල පැවැත්වීමට නියමිත කේරළ සභා මැතිවරණයට පෙර මෙම පියවර ගෙන ඇත.

මධ්‍යම කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් පසු, ඉන්දීය ජනාධිපතිවරයා විසින් ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි වගන්තියේ විධිවිධාන යටතේ තම අදහස් ප්‍රකාශ කිරීම සඳහා 2026 කේරළ (නම් වෙනස්කිරීමේ) පනත් කෙටුම්පත කේරළ ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාව වෙත යොමුකරනු ඇත.

කේරළ ව්‍යවස්ථාදායක සභාවේ අදහස් විමසීමෙන් අනතුරුව කේරළයේ නම ‘කේරලම්’ ලෙස වෙනස්කිරීම සඳහා 2026 කේරළ (නම් වෙනස් කිරීමේ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ඉන්දීය රජය ජනාධිපතිවරයාගේ නිර්දේශය ලබාගන්නා බව නිල නිවේදනයක දැක්වේ.

පළමු යෝජනාව සමාලෝචනය කළ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය තාක්ෂණික වෙනස්කම් කිහිපයක් යෝජනා කළ නිසා කේරළ සභාව දෙවැනි වරටත් යෝජනාව සම්මත කර තිබිණි.

යෝජනාව ඉදිරිපත් කළ කේරළ මහඇමති පිනරායි විජයන්ට අවශ්‍ය වූයේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අටවන උපලේඛනයේ ඇතුළත් සියලුම භාෂාවලින් දකුණු ප්‍රාන්තයේ නම කේරළයේ සිට කේරළම් ලෙස වෙනස්කිරීමට මධ්‍යම රජය කටයුතු කිරීමයි.

යෝජනාව ඉදිරිපත් කරමින්, ප්‍රධාන අමාත්‍යවරයා පවසා තිබුණේ මලයාලම් භාෂාවෙන් ප්‍රාන්තය ‘කේරළම්’ ලෙස හඳුන්වන බවත්, මලයාලම් භාෂාව කතා කරන ප්‍රජාවන් සඳහා එක්සත් කේරළයක් පිහිටුවීමේ ඉල්ලීම ජාතික නිදහස් අරගලයේ කාලයේ සිටම දැඩි ලෙස මතුවී ඇති බවත්ය.