February 26, 2026

ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසන්නේ, කළින් නිවේදනය කළ පරිදි, මෙම වසර අවසන් වීමට පෙර මහනුවර දුම්රිය මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි.

පේරාදෙණිය ‘කළු පාලම’ අලුත්වැඩියා කටයුතු ඇණහිට ඇති බවට පළ වන වාර්තා ඔහු ප්‍රතික්ෂේප කරයි.

පේරාදෙණිය ‘කළු පාලම’ ස්ථාවර කිරීමේ කටයුතු දැනටමත් සාර්ථකව අවසන් කර ඇති බවත්, ව්‍යාපෘතියේ ඊළඟ අදියර කඩිනමින් ආරම්භ කරන බවත් ඔහු පැවසීය.

අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් සමග එක්ව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් පසු ජනමාධ්‍ය අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය.

තවදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසුවේ ‘කළු පාලම’ ඇලවීම නතර කර ස්ථාවර කර ඇති බවයි.

“ඇලවෙමින් තිබූ ගල් කණුව ඉංජිනේරු තාක්ෂණයට අනුව නිවැරදි කර ඇති අතර, දැන් පාලම ස්ථාවරයි. 21 වැනිදා අධික වර්ෂාපතනයක් ඇතිවුණා. ගංගාවේ මට්ටම ඉහළ ගොස් එම ස්ථානයේ ඉදිකරන ලද තාවකාලික පාලමට හානිවුණා. මෙහි වැඩ සඳහා කැණීම් යන්ත්‍ර දෙකක් කුලියට ගෙන තිබුණා. ජල පොම්ප කිරීමේ යන්ත්‍රත් කුලියට ගත්තා. දැන් ඒ සියල්ල ආපසු ලබා දී තිබෙනවා. පිටතින් බැලුවහම යන්ත්‍ර අඩු වී සේවකයින් නොමැති බව පෙනෙන්නට තිබුණත් එය වැරදියි. ඊළඟ අදියර ආරම්භ වෙමින් තිබෙනවා. ඉදිරි වැඩ කටයුතු පිළිබඳව තාක්ෂණික කමිටුව සමඟ සාකච්ඡා පවත්වනවා. අමාත්‍ය බිමල් රත්නායක කියපු විදිහට, මෙම වසර අවසන් වීමට පෙර මහනුවරට දුම්රිය ආරම්භ කිරීමට ඒමට අපි සැලසුම් කරනවා ”ඔහු පැවසීය.

ඉන්දියානු ණය ආධාර යටතේ රඹුක්කන සිට කඩුගන්නාව දක්වා ඉදිකිරීම් සැලසුම් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන හෙළිකළේය.