February 22, 2026

ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් විසින් මෑතකදී තමිල්නාඩු ධීවරයන් පිරිසක් අත්අඩංගුවට ගැනීම හෙළා දකිමින් රාමේෂ්වරම් හි ධීවර සංගම් කිහිපයක සාමාජිකයන් ඊයේ (21) ධීවර කටයුතු සඳහා මුහුදට යෑමෙන් වැළකී සිටි බව ද හින්දු පුවත්පත වාර්තා කර තිබේ.

පෝක් සමුද්‍ර සන්ධියේ මසුන් ඇල්ලූ රාමේෂ්වරම් සහ මණ්ඩපම් හි ධීවරයන් 22 දෙනෙකු සහ ඔවුන්ගේ ට්‍රෝලර් යාත්‍රා හතරක් මීට දින තුනකට පෙර ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නෙදුන්තීව් සහ කච්චතිව් දූපත් අසලදී අත්අඩංගුවට ගන්නා ලදී.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු,එම ධීවරයන් දින 15ක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.

ඊට විරෝධතාව පළ කිරීමක් ලෙස, දකුණු ඉන්දීය ධීවර ප්‍රජාව දිනක් පුරා වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කර තිබිණි.

සාමාජිකයන් 400කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ තංගචිමඩම හි පැවති විරෝධතාවකදී ධීවර නායක ජේසු රාජා පැවසුවේ මෙම සිදුවීම් සම්බන්ධයෙන් ඉන්දීය රජය නිහඬ නරඹන්නකු ලෙස නොසිටිය යුතු බවයි.

“ශ්‍රී ලංකා ජනාධිපතිවරයා AI සමුළුවට සහභාගී වීමට නවදිල්ලියට පැමිණි විටයි තමිල්නාඩුවේ සිටින ධීවරයන් අත්අඩංගුවට ගනු ලැබුවෙ. අපගේ අගමැති නරේන්ද්‍ර මෝදි මෙම සිද්ධිය පිළිබඳ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට සෘජුවම ආයාචනා කළ යුතුව තිබුණා.” යනුවෙන් ඔහු පැවසීය.

පරම්පරා ගණනාවක් තිස්සේ පෝක් සමුද්‍ර සන්ධියේ මසුන් ඇල්ලීම හරහා යැපෙන ධීවරයන් පැවසුවේ, එවැනි අත්අඩංගුවට ගැනීම් ඔවුන්ගේ පැවැත්මට තර්ජනයක් වී ඇතිවා පමණක් නොව, ඔවුන්ගේ ජීවනෝපායන් පිළිබඳවද සැකයක් ඇති කර ඇති බවයි.

මෑත වසරවලදී, ශ්‍රී ලංකා බලධාරීන් යාන්ත්‍රික යාත්‍රා රාජසන්තක කළා පමණක් නොව, ඒවා ආපසු ලබා දීම ද ප්‍රතික්ෂේප කර ඇත.

එවැනි පියවරයන් හේතුවෙන් ණය ආපසු ගෙවීමට නොහැකි වූ ඉන්දීය බෝට්ටු හිමියන්ට විශාල පාඩුවක් සිදුවී ඇත.

එහි ප්‍රතිඵලයක් ලෙස ධීවරයන්ට රැකියා ද අහිමි වූ බව රාජා පැවසීය.

වඩාත් වැදගත් දෙය නම්, ශ්‍රී ලංකාවේ සිරගත කර සිටින ඉන්දීය ධීවරයන්ට දඩ මුදල් ගෙවීමට සිදු වීම වන අතර, ඔවුන් අධිකරණ නියෝගයට අනුකූල වීමට අපොහොසත් වුවහොත්, සිර දඬුවම් නියම වේ.

මේ නිසා ඔවුන්ගේ පවුල් දුක් විඳින අතර, බොහෝ කාන්තාවන් සහ ළමුන් මානසික කම්පනයට ලක් වේ.

ධීවරයන්ගේ දුක්ඛිත තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාවේ නාවික වරායන්හි ඇති යාන්ත්‍රික බෝට්ටු 100කට අධික ප්‍රමාණයක් නැවත ලබා ගැනීමට සහ සිරගත කර සිටින ධීවරයි@න් නැවත ගෙන්වා ගැනීමට පහසුකම් සැලසීමෙන් ඉන්දීය රජය කල් පවතින විසඳුමක් සොයා ගත යුතු බව ඔහු පැවසීය.