February 21, 2026

වසර 36කට පෙර, 1989 ඔක්තෝබර් 27 දා කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ සේවය කළ දෙදෙනකු ශ්‍රී ලංකා පොලීසියේ පිරිසක් විසින් පැහැරගෙන ගොස් පසුව ඝාතනය කළැයි කියන සිද්ධියකට අදාළව පුළුල් විමර්ශනයක් සිදු කර, වගකිව යුත්තන් අත්අඩංගුවට ගන්නා ලෙස එහිදී ඝාතනය වූ එක් පුද්ගලයකුගේ පෙම්වතිය වන මානව හිමිකම් ක්‍රියාකාරිනි ජයන්ති දන්දෙණිය මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නගෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇත.

මේ සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ප්‍රකාශ 76ක් සටහන් කරගෙන ඇති බවත්, සිදුවීමේ ප්‍රධාන සාක්ෂිකරුවකු වූ ඝාතනයට ලක් වූ හිටපු ඇමැති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේගේ සාක්ෂිය මෙහිදී අතිශය වැදගත් බවත් ඇය සඳහන් කරයි. එම ලිඛිත ඉල්ලීමට හිටපු ඇමැතිවරයාගේ සම්පූර්ණ සාක්ෂියද අමුණා ඇත.

“88-89 කාලයේ භීෂණය ඉතා දරුණු විදිහට තිබුණා. වෙළෙඳ කලා‍පයේ හා ඒ අවට බොහෝ අවස්ථාවල කම්කරුවන් හැටියට ආයතනවල වැඩ කරපු අය සමහර දේවල්වලට පාවිච්චියට ගත්තා එයාලගේ ප්‍රශ්න විසඳාගන්න. මමත් වෙළෙඳ කලාපයේ වැඩ කළේ. රංජි අයියා වැඩ කළේ කොරියන් සමාගමකට අයත් ආයතනයක. ඒක මල් හදන සමාගමක්. එයා කියන විදිහට, ඒකේ ඉතාම දරුණු විදිහට ආයතන ප්‍රශ්න තිබුණා. රංජි අයියා තදින්ම ඒවාට විරුද්ධව මැදිහත් වුණා.

“මෙයාලව අත්අඩංගුවට අරගෙන සීදූව පොලීසියට අරගෙන ගිහිල්ලා, එළිවෙන කල් පොලීසියේ කොටම්බා ගහක් යට තියාගෙන ඉඳලා තියෙනවා. ඊට පස්සෙ තමයි මෙයාලව අරගෙන ගිහිල්ලා රද්දොළුව පල්ලිය ඉස්සරහා මරලා දාලා තියෙන්නේ. මෙයාලව අරගෙන ගිහිල්ලා, මෙයාලට බහින්න කියලා, ඉස්සරහට දුවන්න කියල තමයි වෙඩි තියලා තියෙන්නේ. එතකොට බාගෙට තමයි මැරිලා තියෙන්නේ. ටයර් දාලා පුච්චලා මෙයාලව. එතන තියෙනවා පලතුරු කඩයක්, ඒකෙ තියෙන ලෑලිත් දාලා, පෙට්‍රල් දාලා ගිනි තියලා තියෙන්නේ. ඒකත් බාගෙට. මෙයාලා අතුරුදන් වුණේ නෑ; මැරුවා; මරලා මිනිය අරං ගියා. මිනිය කොහෙද කියලා තාම දන්නේ නැහැ. මිනීමරුවෝ තවම ඉන්නවා. ජෙයරාජ්ගේ කටඋත්තරයේ පැහැදිලිව මේ ගැන තියනවා.” ඇය සිය පැමිණිල්ලේ සඳහන් කර ඇති කරුණු එසේ පැවසුවාය.(සිළුමිණ)