February 18, 2026

අල්ලස් පනත යටතේ ‘දූෂණය’ වරදට වරදකරු වී දැනට සිර දඬුවම් විඳිමින් සිටින උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති තවත් නඩුවක් විභාග කිරීම සඳහා කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් අද දිනය නියම කළේය.

ඒ අනුව එම නඩුව අප්‍රේල් 02 වැනිදා කැඳවනු ඇත.

ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලූ විනිසුරුවරයා, සාක්ෂිකරුවන්ට එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කරන ලෙස නියෝග කළේය.

2012 සැප්තැම්බර් 27 සිට 2014 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී සහ ඔහුගේ වැටුප සමඟ ඉන්ධන දීමනාවක් ලබාගෙන තිබියදී, නීති විරෝධී ලෙස ඉන්ධන ලබාගෙන ඇති බවත්, එමඟින් රජයට පාඩුවක් සිදු කර ඇති බවත්, දූෂණ වරද සිදු කර ඇති බවත් චෝදනා කරමින් උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මෙම නඩුව ගොනු කර තිබේ.