February 18, 2026

දිගු කලක් ප්‍රමාද වී ඇති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා ජාතික ජන බලවේග රජයට ඉන්දීය පීඩනයක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඊයේ (17) ප්‍රකාශ කළේය.

රූපවාහිනී සංවාදයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබිණි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් සහ නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක පවන් කපූර් සමඟ නවදිල්ලියේ පැවති සාකච්ඡාවේදී බලය බෙදා හැරීම හෝ ත්‍රස්තවාදී ගැටළු සාකච්ඡා නොකළ බව ටිල්වින් සිල්වා පැවසීය.

මෙය ටිල්වින් සිල්වාගේ පළමු ඉන්දීය සංචාරයයි.

දේශපාලනය න්‍යාය පත්‍රයේ නොතිබූ බවත් ඉන්දියාවේ අවධානය සම්පූර්ණයෙන්ම ආර්ථික සංවර්ධනය සහ තාක්ෂණය කෙරෙහි යොමු වී තිබූ බවත් ඔහු පැවසීය.

ඉන්දියානු සංස්කෘතික සබඳතා කවුන්සිලයේ (ICCR) කීර්තිමත් අමුත්තන්ගේ වැඩසටහන යටතේ ජනතා විමුක්ති පෙරමුණේ මහලේකම්වරයා 2026 පෙබරවාරි 5 සිට 12 දක්වා ඉන්දියාවේ සංචාරය කළේය.

මහලේකම් සිල්වා සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී කිට්නන් සෙල්වරාජ්, පාර්ලිමේන්තු මන්ත්‍රී ඉලංකුමාරන් කරුණානාදන්, ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික ජනක අධිකාරි, ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ඒකක ප්‍රධානී හේමතිලක ගමගේ සහ ජනතා විමුක්ති පෙරමුණේ අන්තර්ජාතික සබඳතා දෙපාර්තමේන්තුවේ සාමාජික කල්පනා මධුභාෂිණි යන අය සංචාරයට සහභාගී වූහ.

දූත පිරිස නවදිල්ලිය, අහමදාබාද් සහ තිරුවානන්තපුරම් යන නගරවල සංචාරය කළහ.

තවත් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ටිල්වින් සිල්වා පැවසුවේ, ඉන්දියාව සැමවිටම ශ්‍රී ලංකාව සඳහා සැබෑ සහ විශ්වාසදායක සහකරුවකු ලෙස පවතිනු ඇති බවත්, ‘අසල්වැසියා පළමුව ප්‍රතිපත්තිය’ සහ ‘මහාසාගර්’ දැක්ම අනුව ඔවුන් කටයුතු කරන නබ ආචාර්ය එස්. ජයිශංකර් නැවත අවධාරණය කළ බවයි.

1980 දශකයේ අගභාගයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ල ගැන සඳහන් කරමින්, ඔහු කියා සිටියේ ඔවුන් ඉන්දියාවට විරුද්ධ නොවූ නමුත් එවක ඉන්දීය රජයේ ක්‍රියාමාර්ගවලට ප්‍රතිචාර දැක්වූ බවයි.

1987 ජූලි මාසයේ ඉන්දු-ලංකා සාම ගිවිසුමෙන් පසුව, පළාත් සභා සඳහා මග පෑදීමට ශ්‍රී ලංකාව 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කළේය.

ඔවුන් බලයට පත් වූ දා සිට ඉන්දු-ශ්‍රී ලංකා සබඳතා වෙනස් වී ඇති බව ටිල්වින් සිල්වා පැවසීය.

“අපට එකට වැඩ කළ හැකි බව ඉන්දියාව වටහාගෙන තිබෙනවා,” ඔහු පැවසීය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සම්බන්ධයෙන් මූලික කටයුතු සිදුවෙමින් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා පැවසීය.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සහ විධායක බලතල නොමැතිව ජනාධිපති ධුරයක් නිර්මාණය කිරීම ද මෙහිදී සළකා බලනු ඇති අතර, ව්‍යවස්ථාදායකය ශක්තිමත් කිරීම අනෙක් කාරණය බව ඔහු පැවසීය.

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතරයක් ඇති බවත්, ඔවුන්ටම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දිය හැකි බවත් පෙන්වා දුන් ටිල්වින් සිල්වා, සියලු දෙනාගේ අදහස් ලබා ගැනීමට සහ සම්මුතියක් ලබා ගැනීම සඳහා අතීත ක්‍රියාවලීන් අධ්‍යයනය කිරීමට අදහස් කරන බව පැවසීය.

1978 දී විධායක ජනාධිපති ධුරය හඳුන්වාදීමට එරෙහිව උද්ඝෝෂණය කළ පක්ෂය ලෙස, පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කිරීමේ වත්මන් උත්සාහයට නායකත්වය දෙන බව ඔහු පැවසීය.

ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇති දේ ක්‍රියාත්මක කරන බවට ටිල්වින් පොරොන්දු විය.

හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ටිල්වින් සිල්වා පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණය ද හිටපු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පියවර අනුමත කර ඇති බවයි.

එබැවින් ඒ සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නොතිබුණ බවත් හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා සිදු කරන ලද බැවින් එය අහෝසි කළ නොහැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

රජය අනෙකුත් පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දුන් විට එය ද විසඳනු ඇති බව ඔහු සඳහන් කළේය.