February 18, 2026

උප්පැන්න සහතිකයක් නිකුත් කිරීම සඳහා රුපියල් 500ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත අලයාඩිවෙම්බු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයකු අත්අඩංගුවට ගෙන තිබේ.

මරදමුනේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් පසුගිය 16 වැනිදා මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

පැමිණිලිකරුගේ දියණියගේ උපත ලියාපදිංචි කර සහතිකය නිකුත් කිරීම සඳහා සැකකරු රුපියල් 1,000ක් ඉල්ලා ඇති අතර, ඒ සඳහා රුපියල් 500ක් කල්තියා ලබාගෙන ඇති බව පැමිණිල්ලෙන් කියැවිණි.

සහතිකය ලබා ගැනීම සඳහා පෙබරවාරි 16 වැනිදා ඉතිරි රුපියල් 500 සමඟ නැවත පැමිණෙන ලෙස සැකකරු පැමිණිලිකරුට උපදෙස් දී තිබේ.

සැකකරුගේ නිවසේ සිට ක්‍රියාත්මක වන උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර් කාර්යාලයේදී ඉතිරි රුපියල් 500 ඉල්ලා සිටි අවස්ථාවේ පෙ.ව. 11.45ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අක්කරෙයිපත්තුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.