February 14, 2026

සිංගප්පූරුව බලා යාත්‍රා කළ බහාලුම් නෞකාවක සිටි ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල සාමාජිකයකු නේතාජි සුභාස් තොටුපළ අසලින් ජලයට පැන ඇති බවට වාර්තා වේ.

අනතුරුව සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී කොල්කටාවේ හූග්ලි ගඟෙන් මළසිරුරක් සොයාගෙන ඇති අතර, වින්දිතයා කොටා දුනියා නම් නෞකාවේ සේවය කළ බව පොලිසිය පවසයි.

අදාළ පුද්ගලයාගේ මරණයට හේතුව සොයාගැනීම සඳහා ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවුලේ සාමාජිකයන් සමග සම්බන්ධ වෙමින් සිටින බව ද වාර්තා වේ.

නෞකාවේ අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජිකයින් අදාළ පුද්ගලයා ගඟට පනිනු දැක ඇති අතර ඒ සම්බන්ධයෙන් නෞකාවේ කපිතාන්වරයා වෙත දන්වා අනතුරුව වරාය දෙපාර්තමේන්තුවට දැනුම් දී හදිසි සහාය ඉල්ලා තිබේ.

විශේෂඥ කිමිදුම්කරුවන් පස්දෙනෙකුගෙන් සමන්විත ආපදා කළමනාකරණ කණ්ඩායමක් විසින් පැය කිහිපයක් පුරා සිදුකළ මෙහෙයුමකදී මළසිරුර සොයාගෙන තිබිණි.

මළසිරුර සොයාගත් නිශ්චිත ස්ථානය හෝ එය සොයාගත් අවස්ථාවේ එහි තත්ත්වය පිළිබඳව පොලිසිය වහාම තොරතුරු නිකුත් නොකළ අතර, පශ්චාත් මරණ පරීක්ෂණය අවසන් වී මරණයට නිශ්චිත හේතුව තහවුරු කිරීමෙන් පසුව පමණක් අදහස් දක්වන බව පැවසීය.