February 14, 2026

ජනාධිපති අනුර කුමාර දිසානායක 2026 පෙබරවාරි 16 සිට 20 දක්වා නවදිල්ලියේදී පැවැත්වෙන ‘INDIA-AI Summit 2026’ සමුළුවට සහභාගී වීමට නියමිතය.

ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයකට අනුව, මෙම සමුළුව ඉන්දීය රජය විසින් සත්කාරකත්වය දරනු ලබන අතර, කෘත්‍රිම බුද්ධියේ (AI) අනාගතය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ගෝලීය නායකයන්, ප්‍රතිපත්ති සම්පාදකයන්, නවෝත්පාදකයන් සහ විශේෂඥයන් එක්රැස් කරනු ඇත.

මෙම උත්සවය AI පිළිබඳ අන්තර්ජාතික සහයෝගීතාවය සඳහා ඉන්දියාවේ ප්‍රවේශය ගෙනහැර දක්වන ‘ජනතාව, ග්‍රහලෝකය සහ ප්‍රගතිය’ යන ප්‍රධාන තේමාවන් තුනක් මත පදනම්ව ඇත.

ප්‍රංශය, බ්‍රසීලය, ස්පාඤ්ඤය, නෙදර්ලන්තය, ස්විට්සර්ලන්තය, මොරිෂස් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවල් 20 කට වැඩි ගණනක නායකයන් සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයෙන් ජනාධිපති දිසානායක ඊට සහභාගී වනු ඇත.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සහ අන්තර්ජාතික සංවිධාන කිහිපයක ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සමුළුවට එක්වීමට නියමිතය.

ඊට අමතරව, රටවල් 45 කට අධික සංඛ්‍යාවක අමාත්‍ය දූත පිරිසක් මෙම සාකච්ඡාවලට සහභාගී වනු ඇත.

AI සංවර්ධනය, ගෝලීය පාලන රාමු සහ තිරසාර සංවර්ධනයේ දී නැගීඑන තාක්ෂණයන්හි කාර්යභාරය කෙරෙහි සමුළුව අවධානය යොමුකරනු ඇතැයි අපේක්ෂා කෙරේ.