February 4, 2026

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාව සඳහා සහන සැලසීමේදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ජාතික මට්ටමේ ඒකාබද්ධ හානි සහ අලාභ ඇස්තමේන්තුවක් නිල වශයෙන් අනුමත කර තිබේද යන්න සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ස්ථාවර නියෝග 27(2) යටතේ ආණ්ඩු පක්ෂයෙන් විමසීමක් කළේය.

එලෙස අනුමත කිරීමක් සිදු කර තිබේනම් එහි මුළු ඇස්තමේන්තු අලාභය කොපමණ ද සහ ඒ අනුමැතිය ලබා ගත්තේ කවදාද යන්න සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා විමසා තිබේ.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පවසා ඇත්තේ නිවාස, යටිතල පහසුකම්, කෘෂිකර්මය, මත්ස්‍ය කර්මාන්තය සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අනුව වෙන් කළ මුළු ප්‍රතිස්ථාපන වියදම කොපමණද යන්න සම්බන්ධයෙන් ද රජය පිළිතුරු ලබා දිය යුතු බවයි.

දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් සිදුවූ මරණ, නිවාස අහිමිවීම් සහ අලාභ හානිවලට මුහුණ පෑ ජනතාව වෙනුවෙන් සිදු කළ වන්දි ගෙවීම් හා ප්‍රතිස්ථාපන කටයුතු සම්බන්ධයෙන් රජයේ හදිසි ප්‍රකාශයක් ඉල්ලා මන්ත්‍රීවරයා මෙම ප්‍රශ්න ඉදිරිපත් කර තිබිණි.