February 13, 2026

ජාතික ජන බලවේගයට බලය හිමි වූ බලංගොඩ නගර සභාවේ සභාපතිවරයා ලෙස පත්ව සිටි කේ. ජී ප්‍රේමදාසගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ සභාපති තනතුර සඳහා නව සභාපතිවරයකු පත්කර ගැනීමට වූ නිලවරණය ඊයේ බලන්ගොඩ නගරසභාවේ දී පැවැත්විණි.

ජාතික ජන බලවේගය වෙනුවෙන් පේෂල නිකලන්ද හා සමගි ජන බලවේගය වෙනුවෙන් බී. විමලසේන සහ තවත් එක් තරගකරුවකු වශයෙන් එහිදී අපේක්ෂකයන් තිදෙනකු ඉදිරිපත් වී තිබිණි.

විශේෂත්වය වුයේ පෙර සභාපතිව සිට ධූරයෙන් ඉල්ලා අස්වූ ජාතික ජන බලවේගයේ කේ.ජී ප්‍රේමදාස විසින්ම මාලිමාවේ අපේක්ෂකයා වන පේෂල නිකලන්දගේ නම යෝජනා කිරීමයි.

පළමුව රහස් ඡන්දයක් ද, විවෘත ඡන්දයක්ද යන්න සලකා බැලීමට ඡන්දයක් තිබූ අතර එහිදී රහස් ඡන්දයක් වෙනුවෙන් ඡන්ද නවයක් ද, විවෘත ඡන්දයක් ලෙස ඡන්ද හයක්ද ප්‍රතික්ෂේප ලෙස එක ඡන්දයක් ද ලැබී තිබිණි.

අවසානයේ ජාතික ජන බලවේගය වෙනුවෙන් ඉදිරිපත් වූ පේෂල නිකලන්ද ඡන්ද එකොළහක් ලබාගනිමින් නව සභාපතිවරයා ලෙස බලංගොඩ නගර සභාවට තේරී පත්විය. සමගි ජන බලවේගයෙන් ඉදිරිපත්ව සිටි බී. විමලසේනට ලබාගැනීමට හැකි වූයේ ඡන්ද පහක් පමණකි.

බලංගොඩ නගරසභාවේ මන්ත්‍රී සංයුතිය ජාතික ජන බලවේගයට හතක්, සමගි ජන බලවේගයට පහක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දෙකක්, එක්සත් ජාතික පක්ෂයට එකක් සහ ස්වාධීන කණ්ඩායමකට එකක් ලෙස පවතී.

මුල් වටයේ සභාපතිවරයා ලෙස තේරී පත් වූ කේ.ජී ප්‍රේමදාස සභාපති වූ අවස්ථාවේ ලබාගෙන තිබුණේ ඡන්ද අටක් පමණකි.