February 12, 2026

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් වැඩි කිරීමට අදාළ මෑත කාලීන ගිවිසුම සම්බන්ධයෙන් රජය කටයුතු කරන ආකාරය ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් දැඩි ලෙස විවේචනය කළේය.

එහි විනිවිදභාවයක් නොමැති බවත් කම්කරුවන් සඳහා නීතිමය ආරක්ෂාවන් ලබා දීමට අපොහොසත් වී ඇති බවටත් ඔහු නිලධාරීන්ට චෝදනා කළේය.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් තොණ්ඩමන් අවධාරණය කළේ වැටුප් වැඩි කිරීමටම විරුද්ධත්වයක් නොමැති නමුත් එය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ බරපතල ගැටළු මතු වන බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විරුද්ධ පක්ෂ සංවර්ධනයට විරුද්ධ වූ බවට කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් ඔහු පැවසුවේ, “අපි අයවැයට පක්ෂව ඡන්දය දුන්නා. මම සැමවිටම වැටුප් වැඩි කිරීමට සහාය දුන්නා,” යනුවෙනි.

2026 ජනවාරි 30 වැනිදා රජය සහ ප්‍රාදේශීය වැවිලි සමාගම් අතර අත්සන් කරන ලද ගිවිසුම මගින් මූලික දෛනික වැටුප රුපියල් 1,350 සිට රුපියල් 1,550 දක්වා ඉහළ නංවන ලද අතර දෛනික පැමිණීමේ දිරිගැන්වීමක් ලෙස අමතර රුපියල් 200ක් ලබා දීමට තීරණය කෙරිණි.

නව වැටුප් ව්‍යුහය යටතේ, වර්තමාන දෛනික වැටුප වන රුපියල් 1,350 රුපියල් 400කින් ඉහළ යනු ඇත.

මෙම වැඩිවීමේ දී වතු සමාගම් රුපියල් 200ක් ලබා දෙන අතර, ඉතිරි රුපියල් 200 රජය මූල්‍ය ආධාරයක් ලෙස ලබා දීමට නියමිතය.

සංශෝධිත වැටුප පෙබරවාරි 10 වැනිදා සිට කම්කරුවන්ට ගෙවනු ලබන බව නිලධාරීහු පැවසූහ.

කෙසේවෙතත්, කිසිදු ව්‍යාපාරයක් ලාභයක් නොමැතිව දශක ගණනාවක් තිස්සේ නොපවතින බව පෙන්වා දෙමින් තොණ්ඩමන් මන්ත්‍රීවරයා ප්‍රාදේශීය වැවිලි සමාගම්වල විශ්වසනීයත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න කළේ එම සමාගම් මූල්‍යමය පාඩු ප්‍රකාශ කරන්නේ කෙසේද යන්නයි.

“සමාගමක් වසර 20ක් පාඩු ලබන්නේ කොහොමද ? ඒක සම්පූර්ණ බොරුවක්. සමාගම් වසර 20ක් පාඩු ලබනවා නම් ඔවුන් තවමත් වතු අල්ලගෙන ඉන්නේ ඇයි? ඒවා පුණ්‍යායතන නෙවෙයි,” යැයි ඔහු පැවසුවේ, ‘පාඩු ලබන’ ආයතන සඳහා මහජන අරමුදල්වලින් සහනාධාර ලබා දෙන බවට රජයට චෝදනා කරමිනි.

රජය මුලින් පොරොන්දු වූ රුපියල් 2,138ක දෛනික වැටුපේ සිට වත්මන් මුළු එකතුව රුපියල් 1,750 දක්වා වෙනස් කිරීම ද තොණ්ඩමන් මන්ත්‍රීවරයා අභියෝග කළේය.

“පළමුව රජය රු. 2,138ක මූලික වැටුපක් පොරොන්දු වුණා. අපි රු. 1,700ක් යෝජනා කළ විට ඔවුන් පැවසුවේ, අපට එය පිළිගත නොහැකි බවත්, අපට රු. 2,138ක් අවශ්‍ය බවත්. ඒ අවස්ථාවේ උද්ධමනය 1.5%ක් තිබුණත් එය පහළට යමින් පැවතියා. මැතිවරණයෙන් පස්සේ උද්ධමනය දැන් දළ වශයෙන් 3% සිට 5% දක්වා පමණ වෙලා. දැන් ඔබ මට කියන්නේ, රු. 2,138ක් සේවකයන්ට වැදගත් නැහැ කියලද ?” යනුවෙන් ඔහු ප්‍රශ්න කළේය.

නැවත නැවතත් ඉල්ලීම් කළ ද මහජනතාවගෙන්, සිවිල් සමාජයෙන් සහ පාර්ලිමේන්තුවෙන් පවා සම්පූර්ණ ගිවිසුම රඳවාගෙන සිටීම සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා රජයට චෝදනා කළේය.

“ගිවිසුමේ පිටපතක් අපි සතුව තිබෙනවා. මම වැරදි නම්, රජයට පුළුවන් සත්‍ය ලේඛනය පාර්ලිමේන්තුවේ සභාගත කරන්න,” ඔහු පැවසීය.

ලේඛනයේ නිශ්චිත විධිවිධාන උපුටා දක්වමින්, සේවකයන්ට පාරිතෝෂිකය සඳහා සුදුසුකම් ලැබීමට නම් වසරකට දින 180ක පැමිණීමක් අවශ්‍ය කරන වගන්තියක් ඇති බවට තොණ්ඩමන් මන්ත්‍රීවරයා කණස්සල්ල පළ කළේය.

“කම්කරුවෙකු එක් දිනක් වැඩ කළත් පාරිතෝෂිකය ලැබිය යුතුයි,” ඔහු පැවසුවේය.

සමාගම් විසින් සේවකයන් ලියාපදිංචි නොකර තබා ගැනීමෙන් EPF, ETF ගෙවීම්, මාතෘ සහ වෙනත් ප්‍රතිලාභ ලබා නොදී සිටීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේය.

රජය සහ වතු සමාගම් අතර ඇති අවබෝධතා ගිවිසුමට නීත්‍යනුකූලව බැඳීමක් නොමැති බව කියවෙන වගන්තියක් ද ඇතැයි වාර්තාවන බව ඔහු පෙන්වා දුන්නේය.

“ගිවිසුමට නීතිමය බරක් නැත්නම්, උත්සව පැවැත්වීමට සහ දැන්වීම් පළකිරීමට මහජන මුදල් වියදම් කිරීමේ තේරුම මොකක්ද ? ගැසට් නිවේදනයක් නොමැතිව, වගවීමක් නැහැ” මන්ත්‍රීවරයා සඳහන් කළේය.

සමාගම් වගකියන තත්ත්වයට පත් කරමින්, කම්කරුවන් ආරක්ෂා කරමින්, කම්කරු අමාත්‍යාංශය හරහා ගිවිසුම බලාත්මක කිරීම සඳහා ගැසට් කරන ලෙස තොණ්ඩමන් මන්ත්‍රීවරයා රජයෙන් ඉල්ලා සිටියේය.

සමහර වතුවල වැටුප් වැඩිවීම වැඩ බර වැඩිවීම සමඟ බැඳී ඇති බවත්, දිනකට කිලෝග්‍රෑම් 20 සිට 26 දක්වා නෙළීමට කෝටා වැඩිකර ඇති බවත් ඔහු කණස්සල්ල පළ කළේය.

“කම්කරුවන්ට ඒ සඳහා තවත් බොහෝ දේ කිරීමට බල කරනවා නම් මෙය සැබෑ වැටුප් වැඩිවීමක් නෙවෙයි,” යැයි ඔහු පැවසීය.

දිගුකාලීන කම්කරු අයිතිවාසිකම්වලට හානි කරමින් තාවකාලික මූල්‍ය සහනාධාර ලබා නොදිය යුතු බවත් වතු කම්කරුවන් සමඟ සෘජුව සම්බන්ධ වී ඔවුන්ගේ අරගල දේශපාලනීකරණය කිරීමෙන් වළකින ලෙසත් ඔහු රජයට බල කළේය.

වැටුප් වැඩිවීම 2025 අයවැය යටතේ යෝජනා මාලාවක් අනුගමනය කරමින් සිදුකරන ලද අතර, වැටුප් ගැළපීමට සහාය වීම සඳහා 2026 අයවැයෙන් රුපියල් බිලියන 5ක් වෙන්කර ඇත.

වතුකරයේ තත්ත්වයන් වැඩිදියුණු කිරීම සඳහා පුළුල් තල්ලුවක් මධ්‍යයේ, ශ්‍රී ලංකා ඉතිහාසයේ වතු කම්කරුවන් සඳහා සිදුකරන ලද විශාලතම වැටුප් වැඩිවීම ලෙස රජය මෙය විස්තර කර ඇත.