February 12, 2026

මාර්ගයේ සිටි වන අලියෙකුගේ ඡායාරූප ගැනීමට උත්සාහ කළ රුසියානු ජාතික කාන්තාවක එම අලියාගේ ප්‍රහාරයකින් තුවාල ලබා ඇති බව කතරගම පොලිසිය පැවසීය.

බුත්තල – කතරගම මාර්ගයේ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි විදෙස් ජාතික යුවළක් මාර්ගයේ සිටි වන අලියෙකුගේ ඡායාරූප ගැනීමට ගිය අවස්ථාවේ මෙලෙස ප්‍රහාරයකට ලක්ව ඉකුත් 10 දා සවස ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම විදෙස් ජාතිකයන් දෙදෙනා ත්‍රිරෝද රථයකින් බුත්තල කතරගම මාර්ගයේ ගමන් කර ඇති අතර එම අවස්ථාවේදී මාර්ගයේ රැඳී සිටි වන අලියකු දැක, දෙදෙනා එක්ව වන අලියාගේ ඡායාරූපයක් ගැනීමට ත්‍රිරෝද රථයෙන් බැස ඉදිරියට ගිය අවස්ථාවේ මෙම ප්‍රහාරයට ලක්ව ඇත.

වනඅලි ප්‍රහාරයෙන් රුසියානු ජාතික කාන්තාවක් වන 45 හැවිරිදි අරියානා නමැති අය තුවාල ලබා ඇති අතර, ඇය සමග සිටි ඇයගේ සැමියා වන 48 හැවිරිදි ඩෙනෙස් මෙල්ශන් දිවගොස් වන අලියාගෙන් බේරී තිබේ.

වනඅලි ප්‍රහාරයට ලක් වූ විදෙස් කාන්තාවගේ දකුණු අතට බරපතළ තුවාල සිදුව තිබූ අතර ඇය ප්‍රතිකාර සඳහා කතරගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කතරගම පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.(දිවයින)