February 12, 2026

පිළි­ය­න්දල කර­දි­යාන අංග­ණ­යට කසළ බැහැර කිරී­මට නිසි අව­ස­රය ඇති පළාත් පාලන ආය­තන 07 හැරුණු කොට කාල­යක් තිස්සේ හොර පා‍රෙන් මෙහි වෙනත් පිරි­සක් කසළ බැහැර කර­මින් සිදු කළ මහාපරි­මාණ වංචා­වක් නීතියේ රැහැ­නට හසු­කර ගැනී­මට කැස්බෑව නගර සභා­වේත් අප­ද්‍රව්‍ය කළ­ම­නා­ක­රණ අධි­කා­රි­යේත් සභා­ප­ති­ව­රුන් පෙරේදා (10) සමත්ව තිබේ.

ඊට සම්බන්ධ පෞද්ග­ලික ආය­ත­න­යක ටිපර් රථ රියැ­දු­රකු පොලිස් අත්අ­ඩං­ගු­වට ගැනී­මට කට­යුතු කළ බව කැස්බෑව නගර සභාවේ සභා­පති චාමර මද්දුම කළුගේ පැව­සීය.

එම කසළ අංග­ණයේ වැඩ පරී­ක්ෂ­ක­ව­ර­යාගේ සහ ආර්ථික සංව­ර්ධන අධි­කා­රි­යට අයත් ආර­ක්ෂක නිල­ධා­රීන් දෙදෙ­නාගේ ද සේවය අත්හි­ටුවූ බව අප­ද්‍රව්‍ය කළ­ම­නා­ක­රණ අධි­කා­රියේ සභා­පති චතුර කහ­ඳ­ව­ආ­රච්චි පැව­සීය. කැස්බෑව නගර සභා බල ප්‍රදේ­ශ­යට අයත් කර­දි­යාන කසළ අංග­ණ­යට පළාත් පාල­නය ආය­තන හතක කසළ බැහැර කිරීම සිදුකෙරේ. මෙම භූමිය කැස්බෑව නගර සභා­වට අයත් බව කැස්බෑව නගර සභාවේ සභා­ප­ති­ව­රයා සඳ­හන් කළේය. ඊට පරි­බා­හි­රව පිට­ස්තර පුද්ග­ල­යන් කර­දි­යාන ඝන අප­ද්‍රව්‍ය කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නයේ අභ්‍ය­න්තර සේව­ක­යන් ද සම්බන්ධ කර­ගෙන කාල­යක් තිස්සේ මෙම ස්ථාන­යට කසළ බැහැර කිරීම හේතු­වෙන් නගර සභා­වට මෙන්ම ප්‍රති­ච­ක්‍රී­ක­ර­ණය මධ්‍ය­ස්ථා­න­යට හිමි විය යුතු මුදල් මෙන්ම කසළ බැහැර කිරීමේ ක්‍රම­ව­ත්භා­වය අහිමි වී ඇතැයි ද සභා­ප­ති­ව­රයා කීය.

මේ සම්බ­න්ධ­යෙන් සභා­ප­ති­ව­රයා වැඩි­දු­ර­ටත් මෙසේ ද කීය.

“බෝකු­න්දර ආර්ථික මධ්‍ය­ස්ථා­නයේ කසළ බැහැර කිරීම සඳහා වසර 5/6 ආසන්න කාල­යක සිට පෞද්ග­ලික ආය­ත­න­ය­ක­ටයි බාරදීලා තියෙන්නේ. නමුත් කසළ බැහැර කිරීමේ වග­කීම තියෙන්නේ පළාත් පාලන ආය­ත­න­ය­ටයි. ඒකෙන් ඔබ්බට ගිහි­ල්ලයි, ආර්ථික මධ්‍ය­ස්ථා­නයේ කළ­ම­නා­ක­රණ සංයු­තිය විසින් ඒ තීර­ණය අරන් තියෙන්නේ පෞද්ග­ලික ආය­ත­න­යට කසළ බැහැර කරන්න දෙන්න ඕනෑ කියලා.

ඒ පෞද්ග­ලික ආය­ත­නය ටෙන්ඩ­රය අර­ගෙන නිසි ක්‍රම­වේ­ද­යෙන් තොරව ආර­ක්ෂක නිල­ධාරි හා සේව­ක­යොත් සම්බන්ධ කර­ගෙන අපේ මේ භූමි භාග­යට කසළ බැහැර කිරීමේ ජාවා­රම කාල­යක සිට කරලා තියෙන්නේ. නගර සභා­වට කිසිදු ගෙවී­මක් කරල නෑ. මේ නාස්ති කරන්නේ, විනාශ කරන්නේ අපේ මේ භූමි­භා­ගය පම­ණක් නොවේ රජ­යට හිමි විය යුතු මුදල් අහිමි කිරී­මක්. සභා­ප­ති­තු­මා­ගෙන් මෙන්ම බස්නා­හිර පළාත් සභාවේ ප්‍රධාන ලේක­ම්තු­මා­ගෙන් අපි විශේ­ෂ­යෙන් ඉල්ලා සිටි­නවා මේ ජාවා­ර­මට සම්බන්ධ සියලු දෙනා­ටත් තන­තුරු භේද­යෙන් තොරව නීතිය ක්‍රියා­ත්මක කරන්න කියලා.”

මෙහිදී අත්අ­ඩං­ගු­වට ගත් කසළ ලොරි රථයේ රියැ­දුරු පොලිස් ඇප මත මුදා­හැර ඇත. සැක­කරු අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මට නිය­මිත බව පොලී­සිය කියයි.(දිනමිණ)