February 11, 2026

ගතවූ වසරක කාලය තුළ මෙරටින් ළමා පිළිකා රෝගීන් 900ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් ජාතික පිළිකා පාලන වැඩසටහනේ උපදේශක ප්‍රජා වෛද්‍ය වෛද්‍ය සුරාජ් පෙරේරා පැවසුවේ, ඉදිරි වසර තුන තුළ ළමා පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය සියලුම අත්‍යවශ්‍ය ඖෂධ ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ ගිවිසුමක් අත්සන් කර ඇති බවයි.

මෙම ගිවිසුම හරහා පිළිකා රෝගයට මුහුණ පා සිටින දරුවන්ට අඛණ්ඩ ප්‍රතිකාර සහතික කරමින් සියලුම අත්‍යවශ්‍ය ඖෂධ නොමිලේ සපයනු ලැබේ.

වසර තුනක වැඩසටහන ඔස්සේ ළමා පිළිකා සත්කාර සේවා ශක්තිමත් කරන අතර ළමා පිළිකා හා සම්බන්ධ ගැටලු සහ මූල්‍යමය අභියෝගවලට මුහුණදෙන පවුල්වලට අවශ්‍ය සහනය ලබාදෙනු ඇතැයි සෞඛ්‍ය අංශ විශ්වාසය පළකරයි.

පිළිකා රෝගය කල්තියා හඳුනාගැනීම මගින් ඉක්මනින් ප්‍රතිකාර ආරම්භ කිරීමට සහ ප්‍රතිකාර ක්‍රමවල ප්‍රතිඵල සැලකිය යුතු ලෙස වැඩිදියුණු කරගැනීම සඳහා හැකියාව ලැබෙන බව ද වෛද්‍ය වෛද්‍ය සුරාජ් පෙරේරා පැවසුවේය.

එමෙන්ම ඔහු පෙන්වාදුන්නේ දරුවන් අඛණ්ඩ හෝ අසාමාන්‍ය රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම්, වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙස මව්පියන්ගෙන් ඉල්ලා සිටින බවයි.