February 3, 2026

ශ්‍රී ලංකාවේ විගණකාධිපති ධුරයට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති එල්.එස්.අයි. ජයරත්න පත්කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (3) ඒකමතිකව අනුමැතිය ලබාදී ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (3) දහවල් 12.00ට කථානායක ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය.

විගණකාධිපති ධුරය සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරන ලද නම් සභාව විසින් සලකා බැලූ බව වාර්තා විය.

ඒ අනුව, දින කිහිපයක දීර්ඝ සාකච්ඡාවලින් පසු අද නව විගණකාධිපතිවරයෙකු පත් කිරීම පිළිබඳ අවසන් තීරණයක් ගන්නා ලදී.

හිටපු විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න විශ්‍රාම ගැනීමෙන් පසු 2025 අප්‍රේල් 8 වැනි දින සිට විගණකාධිපති ධුරය පුරප්පාඩුව පවතී.

පසුව, විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන ධර්මපාල ගම්මන්පිල වැඩබලන පදනමක් මත එම තනතුරට පත්කරන ලදී.

කෙසේවෙතත්, ඔහුගේ ධුර කාලය 2025 දෙසැම්බර් 5 වන දින අවසන් විය.

ජනාධිපතිවරයා මීට පෙර එම තනතුර සඳහා නාමයෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබුණද, එම නිර්දේශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කරන ලදී.