February 2, 2026

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැද පෙරදිග හමුදා රැස් කරමින් සිටින පසුබිමක, තම රටට එල්ල වන ඕනෑම ප්‍රහාරයක් ‘කලාපීය යුද්ධයක්’ බවට පත් වනු ඇති බවට ඉරාන උත්තරීතර නායක අලි කමේනි එක්සත් ජනපදයට අනතුරු අඟවා තිබේ.

“මෙවර යුද්ධයක් ආරම්භ කළහොත් එය කලාපීය යුද්ධයක් වනු ඇති බව ඔවුන් දැනගත යුතුයි” යනුවෙන් උත්තරීතර නායකයා උපුටා දක්වමින් ඉරාන රාජ්‍ය පුවත් ඒජන්සි ඉරිදා(31) වාර්තා කර තිබිණි.

ඉරාන විප්ලවයට තුඩු දුන් සහ මොහොමඩ් රේසා ෂා පහ්ලවිගේ රාජාණ්ඩුව අවසන් කිරීම සඳහා තීරණාත්මක අවස්ථාවක් වූ 1979 දී අයතුල්ලා රුහොල්ලා කොමේනි ඉරානයට පිටුවහල් කිරීමෙන් පසු නැවත පැමිණීමේ සංවත්සරය වෙනුවෙන් 86 හැවිරිදි නායකයා මෙම අදහස් පළ කර තිබේ.

ජනවාරි මාසයේදී දහස් ගණනක් ජනයා මිය ගිය ඉරානය පුරා පැවති රාජ්‍ය විරෝධී විරෝධතාවලින් පසු යූඑස්එස් ඒබ්‍රහම් ලින්කන් ගුවන් යානා ප්‍රවාහන නෞකාව, ජෙට් ප්‍රහාරක යානා කලාපයට ළඟා වන විට කමේනිගේ අදහස් පළ කිරීම සිදුවිය.

ඉරාන රියාල් බිඳවැටීම සම්බන්ධයෙන් දෙසැම්බර් අග භාගයේ ආරම්භ වූ විරෝධතා, පසුව කමේනිගේ පාලනයට සෘජු අභියෝගයක් බවට පත්විය.

ඉරාන බලධාරීන් පවසන්නේ විරෝධතාකරුවන් විදේශීය නියෝජිතයන් විසින් උසිගන්වා මෙහෙයවන ලද බවයි.

“මෑත කාලීන රාජද්‍රෝහී ක්‍රියාව කුමන්ත්‍රණයකට සමානයි. ඇත්ත වශයෙන්ම, කුමන්ත්‍රණය මර්දනය කරනු ලැබුවා,” ඉරිදා පැවති සැමරුම් උත්සවයේදී කමේනි පැවසීය.

ඉරාන රාජ්‍ය මාධ්‍ය පැවසුවේ විරෝධතා හේතුවෙන් සිවිල් වැසියන් සහ ආරක්ෂක හමුදා සාමාජිකයන් 2,427 දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 3,117 දෙනෙකු මිය ගිය බවයි.

කෙසේවෙතත් 6,000කට වැඩි පිරිසක් මියගොස් ඇති බව ඇමරිකා එක්සත් ජනපදය පදනම් කරගත් අයිතිවාසිකම් ක්‍රියාකාරීහු පවසති.

රට පුරා ඇති වූ කැලඹීමෙන් පසු, ට්‍රම්ප් එරටට පහර දෙන බවට නැවත නැවතත් තර්ජනය කර තිබේ.

ජුනි මාසයේදී ඉරාන සහ ඇමරිකානු නිලධාරීන් ඕමානයේ වක්‍ර සාකච්ඡාවල නිරත වූයේ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව දින 12ක යුද්ධයක් දියත් කිරීමට පෙරය.

ඇමරිකා එක්සත් ජනපදය ද ඊශ්‍රායලයට එක්වී ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට පහර දුන්නේය.

ඉරානයේ තෙල් සහ ස්වාභාවික ගෑස් ඇතුළු සම්පත් අත්පත් කර ගැනීමට එක්සත් ජනපදයට අවශ්‍ය බවට කමෙයිනි ඉරිදා චෝදනා කළේය.

“මෙය ඔවුන්ගේ සතුරුකමට ප්‍රධාන හේතුවයි, මානව හිමිකම් වැනි ඔවුන්ගේ ඉතිරි කතා හිස් කතා,” ඔහු පැවසීය.

මෙවැනි මත ගැටුම් තිබියදීත් මිලිටරි ගැටුමක් වළක්වා ගැනීම සඳහා ගිවිසුමක් සකස් කිරීමට උත්සාහ කිරීමට ඉරානය සහ එක්සත් ජනපදය සන්නිවේදන මාර්ග විවෘත කර ඇති බව තහවුරු කර ඇත.

ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රධානී අලි ලරිජානි ටෙහෙරානය එක්සත් ජනපදය සමඟ සාකච්ඡා සඳහා සූදානම් බව ප්‍රකාශ කර පැය කිහිපයකට පසු ට්‍රම්ප් සෙනසුරාදා පැවසුවේ ටෙහෙරානය වොෂින්ටනය සමඟ ‘බැරෑරුම් ලෙස කතා කරන’ බවයි.