January 24, 2026

යුරෝපීය කොමිසමේ සභාපතිනි උර්සුලා වොන් ඩර් ලේන් නිල සංචාරයක් ආරම්භ කරමින් ඉන්දියාවට පැමිණියාය.

ඇය ඉන්දියාවේ 77 වන ජනරජ දින සැමරුමට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමට නියමිතය.

ජාතික උත්සවය සඳහා යුරෝපීය කවුන්සිලයේ සභාපති ඇන්ටෝනියෝ ලුයිස් සැන්ටොස් ඩා කොස්තා ද සහභාගීවීමට නියමිතයි.

ජනරජ දින වැඩසටහනට අමතරව, ජනවාරි 27 වන දින පැවැත්වීමට නියමිත 16 වන යුරෝපා – ඉන්දියානු සමුළුවේදී වොන් ඩර් ලේන් සහ ඩා කොස්තා යුරෝපීය සංගමය නියෝජනය කරනු ඇත.

දෙරට අතර යෝජිත ප්‍රධාන නිදහස් වෙළඳ ගිවිසුම කෙරෙහි සමුළුවේදී මූලික වශයෙන් අවධානය යොමු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වාණිජ හා කර්මාන්ත පිළිබඳ මධ්‍යම රාජ්‍ය අමාත්‍ය ජිටින් ප්‍රසාදා ගුවන් තොටුපළේදී යුරෝපීය කොමිසමේ සභාපතිවරිය පිළිගත්තේය.

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රටවල් දෙක ලෙස ඉන්දියාව සහ යුරෝපා සංගමය අන්‍යෝන්‍ය විශ්වාසය සහ බෙදාගත් වටිනාකම් මත මුල් බැසගත් හවුල්කාරිත්වයක් බෙදා ගන්නා බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කර තිබේ.

මේ අතර, බිලියන දෙකකට ආසන්න ජනතාවකගේ වෙළඳපොළක් නිර්මාණය කළ හැකි සහ ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් හතරෙන් එකක් පමණ නියෝජනය කළ හැකි ඉන්දියාව සමඟ නිදහස් වෙළඳ ගිවිසුමක් අවසන් කිරීමට යුරෝපා සංගමය ආසන්නයේ සිටින බව වොන් ඩර් ලේන් මීට පෙර පවසා තිබුණි.

ඩාවෝස් හි පැවති ලෝක ආර්ථික සංසදයේදී අදහස් දක්වමින් ඇය පැවසුවේ සාකච්ඡා අවසන් වීමට ආසන්න බවයි.