
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මාපියන්ටත්, දරුවන්ටත් බරක් නොවන අධ්‍යාපන පද්ධතියක් නිර්මාණය කරන බවත්, ගුණාත්මක අධ්‍යාපනයක අවශ්‍යතාව වටහාගනිමින් ගුණාත්මක අධ්‍යාපනයක් දරුවන්ට ලබාදීමට දෙමාපියන් කරන කැපකිරීම අගය කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
පුත්තලම දිස්ත්‍රික්කයේ අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම හා ආපදාවට පත් පාසල් නිරීක්ෂණය කිරීමට සමගාමීව ජනවාරි 17 දින මදුරන්කුලිය ප්‍රදේශයේ පිහිටි පුත්තලම වේලාසිය රජයේ විද්‍යාලයේදී අගමැතිනිය මේ බව සදහන් කළාය.
වෙලාසිය විද්‍යාලයට කලක සිට අවශ්‍යව පැවති ගුරු නේවාසිකාගාර ගොඩනැඟිල්ල ස්ථාපනය කිරීම සඳහා මුල්ගල තැබීම අග්‍රාමාත්‍යවරිය අතින් මෙහිදී සිදුකෙරිණි.
සමස්ත ලංකා සම්මාන ලැබූ විද්‍යාලයේ සිසුන් අගයමින් ත්‍යාග සහ සහතිකපත් ප්රදානය කිරීම ද මෙහිදි සිදුවිය.
අනතුරුව අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද පැවසීය.
“පාසල් වර්ගය, පාසලේ ප්‍රමාණය, පාසල අයත් වන ප්‍රදේශය අනුව අධ්‍යාපනයේ මට්ටම තීරණය වූ කාලය අවසන්, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල්වලට තාක්ෂණික උපාංග ලබා දෙමින් සිසුන් තාක්ෂණික අධ්‍යාපන රටාවකට හුරුකිරීමේදී ළමා ආරක්ෂණ ප්‍රතිපත්ති මත එය ක්‍රියාවට නංවන්න කටයුතු කරනවා. ඒ සඳහා වන ගුරු පුහුණු තුළින් ගුරුවරුන් ඒ සම්බන්ධව දැනුවත් කරන්න කටයුතු අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කරනවා.
පාසල් අතර තිබෙන තාක්ෂණික අසමානතා ඉවත් කරමින් සියලු දරුවන් අපේ දරුවන් සේ සලකා දරුවන් අතර තිබෙන අධ්‍යාපනික මෙන්ම සමාජීය පරතරයන් ද ඉවත් කිරීම සඳහා රජයක් ලෙස අපි කටයුතු කරන්න සූදානම්.
අප රටේ දෙමාපියන් අධ්‍යාපනයේ වටිනාකම දන්නවා. ඔවුන් ඔවුන්ගේ සියලු සම්පත් කැප කරන්නේ දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමට. අපි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා පවතින අධ්‍යාපන අසමානතාව ඉවත් කිරීමට කටයුතු කරනවා. ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙමින් දරුවන්ට සුවදායී හෙටක් නිර්මාණය කිරීම සඳහා දෙමාපියන් ගන්නා උත්සාහයට එය උදව්වක් වෙයි කියා මම සිතනවා.
පැවති අධ්‍යාපනයට අනුව දුෂ්කර පළාත්වල පාසල් සිසුන්ගේ අධ්‍යාපනය රැකී තිබුණේ එම පාසල්වල සිටින ගුරුවරුන්ගේ දක්ෂතා මත පදනම්වයි. නමුත් මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් ඔස්සේ ගමේ සහ නගරයේ පාසල්වල පවතින වෙනස නැති කරමින් දුෂ්කර පාසල් කියා පාසල් ආමන්ත්‍රණය කිරීමේ සම්ප්රදාය නවත්වනවා.
රජයේ නව ජාතික ප්‍රතිපත්තියට අනුව ඉදිරියේදී ගොඩනැඟෙන රට සඳහා විවිධ ක්ෂේත්රයන්හි දක්ෂතා සහිත දරුවන් අවශ්‍යයි. ඊට අවශ්‍ය මානව සම්පත නිර්මාණය කිරීම වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම් සිදුකර අවසන්.
දෙමාපියන්ටත්, දරුවන්ටත් බරක් නොවන අධ්‍යාපන පද්ධතියක් අපි නිර්මාණය කරනවා. ගුණාත්මක අධ්‍යාපනයේ අවශ්‍යතාව වටහා ගනිමින් දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමට දෙමාපියන් කරන කැපකිරීම අගය කරනවා.” යැයි ද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart