January 14, 2026

පසුගිය වසරේ වේල්ස් අගනුවර වීදියක තිබී මළසිරුරක් ලෙස සොයා ගත් ශ්‍රී ලාංකික කාන්තාවගේ ඝාතනය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයෙකු වරද පිළිගෙන ඇති බව බ්‍රිතාන්‍ය ජනමාධ්‍ය වාර්තා කළේය.

සඳුදා නිව්පෝර්ට් ක්‍රවුන් උසාවියේ පැවති නඩු විභාගයකදී 37 හැවිරිදි තිසර වේරගලගේ, නිවුන්හැල්ලගේ දෝන නිරෝධා කල්පනී නිවුන්හැල්ල හෙවත් නිරෝධා ඝාතනය කළ බව පිළිගත්තේය.

2025 අගෝස්තු 21 වැනි දින කාඩිෆ් හි රිවර්සයිඩ් ප්‍රදේශයේ දකුණු මෝගන් පෙදෙසේ නවතා තිබූ මෝටර් රථ දෙකක් අතර බරපතල තුවාල ලබා සිටි 32 හැවිරිදි නිරෝධා සොයා ගන්නා ලද අතර, එම ස්ථානයේදීම මියගොස් ඇති බව ප්‍රකාශ විය.

පෙන්ට්වින් හි පදිංචි වේරගලගේ මීට පෙර මිනීමැරුම් චෝදනා ප්‍රතික්ෂේප කළ නමුත් නවතම නඩු විභාගයේදී ඔහුගේ වරද පිළිගැනීම වෙනස් කළ බව අධිකරණ නඩු විභාගයේදී අනාවරණය විය.

නඩු විභාගයෙන් පසු වේරගලගේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද අතර පෙබරවාරි 20 වැනි දින ඔහුට දඬුවම් නියම කිරීමට නියමිතය.