January 10, 2026

අළු බඳුන තරගාවලියට පෙර නවසීලන්ත රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගැටුමකදී එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට ‘ලැජ්ජාවක්’ ඇති කිරීම සම්බන්ධයෙන් හැරී බෲක් ප්‍රසිද්ධියේ සමාව අයැද තිබේ.

ඔක්තෝබර් 31 වැනිදා එක්දින අන්තර්ජාතික තරගයකදී එංගලන්ත කණ්ඩායමේ නායකත්වය දැරීමට පැය කිහිපයකට පෙර, වෙලින්ටන්හි රාත්‍රී සමාජ ශාලාවකට ඇතුළුවීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු බෲක් එහි සිටි ඉවත්කිරීමේ නිලධාරියකු විසින් බලහත්කාරයෙන් ඉවත්කර ඇති බව එක්සත් රාජධානියේ ද ටෙලිග්‍රාෆ් පුවත්පත වාර්තා කර තිබිණි.

26 හැවිරිදි ඔහුට එම සිද්ධියෙන් තුවාල සිදුවී නොමැති බවත් එය කණ්ඩායමේ කළමනාකාරිත්වයට වාර්තා කළ බවත් දැනගන්නට ලැබේ.

බෲක්ට එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය විසින් දිය හැකි උපරිම දඩ මුදල වන පවුම් 30,000ක දඩයක් නියම කරන ලද අතර ඔහුගේ හැසිරීම පිළිබඳ අවසන් අනතුරු ඇඟවීමක් ද ලබා දී තිබේ.

එංගලන්තය පසුදා නවසීලන්තයට එරෙහිව එක්දින තරගය පරාජයට පත් වූ අතර, තරගාවලිය 3-0කින් අත්හැර දමන විට බෲක් ලකුණු හයක් ලබා සිටියේය.

ද ටෙලිග්‍රාෆ් පුවත්පතේ වාර්තාව පළවන්නේ ඕස්ට්‍රේලියාව සිඩ්නිහිදී අළු බඳුන 4-1ක ජයග්‍රහණයක් ලබා ගනිමින්, එංගලන්ත කණ්ඩායම මතභේදාත්මක තරගාවලියක් අවසන් කර පැය කිහිපයකට පසුවය.

ටෙස්ට් කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු කළ බෲක් බ්‍රහස්පතින්දා සමාව අයැද සිටිමින් ප්‍රකාශ කළේ “මගේ කණ්ඩායමේ සාමාජිකයන්, පුහුණුකරුවන් සහ ආධාරකරුවන් කලකිරීමට පත්වීම ගැන මම අතිශයින් කණගාටු වනවා” යනුවෙනි.

“මගේ ක්‍රියාවන් ගැන මම සමාව අයැදීමට කැමතියි. මගේ හැසිරීම වැරදි බවත් එය මට සහ එංගලන්ත කණ්ඩායමට අපහසුතාවක් ගෙන දුන් බවත් මම සම්පූර්ණයෙන්ම පිළිගන්නවා,” ඔහු ABC වෙත ලබාදුන් නිවේදනයක සඳහන් විය.

“වගකීම, වෘත්තීයභාවය සහ රටක් නියෝජනය කරන කෙනෙකුගෙන් අපේක්ෂා කරන ප්‍රමිතීන් පිළිබඳ මට ඉගැන්වූ පාඩම් ගැන මම මෙනෙහි කර කරනවා.
මෙම වැරැද්දෙන් පාඩමක් ඉගෙන ගැනීමටත් පිටියේදී සහ ඉන් පිටත මගේ අනාගත ක්‍රියාමාර්ග හරහා විශ්වාසය නැවත ගොඩනඟා ගැනීමටත් මම අධිෂ්ඨාන කරගෙන ඉන්නවා” යනුවෙන් බෲක් පැවසීය.

තමන් කොන්දේසි විරහිතව සමාව අයදින අතර මෙය නැවත සිදු නොවන බවට සහතික වීමට වෙහෙස මහන්සි වන බවද ඔහු පැවසීය.

එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය පැවසුවේ සිද්ධිය විධිමත් සහ රහස්‍ය විනය ක්‍රියාවලියක් හරහා විමර්ශනය කර ඇති බවයි.

සිදුවීමට සම්බන්ධ ක්‍රීඩකයා සමාව අයැද ඇති අතර මෙම අවස්ථාවේදී ඔහුගේ හැසිරීම අපේක්ෂාවන්ට වඩා පහළ බව පිළිගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය කියා සිටියේය.

මෙම ගිම්හානයේ අළු බඳුන තරගාවලියේදී, පිටියේදී සහ ඉන් පිටත යන දෙඅංශයෙන්ම එංගලන්ත පාර්ශවය දැඩි ලෙස විවේචනයට ලක්ව ඇත.

ක්‍රීඩක හැසිරීම සහ අධික ලෙස මත්පැන් පානය කිරීම පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් එංගලන්ත ක්‍රිකට් මණ්ඩලයෙ හි කළමනාකාර අධ්‍යක්ෂ රොබ් කී පරීක්ෂණයක් ද ආරම්භ කළේය.

නවසීලන්තයේ තරඟයකට පෙර රාත්‍රියේ ක්‍රීඩකයන් මත්පැන් පානය කර ඇති බව තමන්ට සොයාගැනීමට හැකි වූ බව කී හෙළි කළේය.

බෲක් සහ ජේකබ් බෙතෙල්ගේ දර්ශන පෙළක් සමාජ මාධ්‍යවල සංසරණය වූ අතර එය ඔවුන් වෙලින්ටන්හි සිටියදී ගන්නා ලද බව කියනු ලැබේ.

එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලයේ ප්‍රධාන විධායක රිචඩ් ගෝල්ඩ් බ්‍රහස්පතින්දා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ක්‍රීඩක හැසිරීම ඇතුළුව කණ්ඩායමේ සංචාරය පිළිබඳ පූර්ණ සමාලෝචනයක් සිදුවෙමින් පවතින බවයි.