January 5, 2026

බංග්ලාදේශ ක්‍රීඩක මුස්තාෆිසුර් රහ්මාන් ඉන්දීය ප්‍රිමියර් ලීග් කණ්ඩායමෙන් නිදහස් කිරීමෙන් පසු ඉදිරි T20 ලෝක කුසලාන තරගාවලියේ දී බංගලාදේශ කණ්ඩායම ඉන්දියාවේ ක්‍රීඩා නොකරන බව බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය ඊයේ ප්‍රකාශ කළේය.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පසුගිය සෙනසුරාදා ප්‍රකාශ කළේ ඉන්දීය ක්‍රිකට් මණ්ඩලය විසින් බංග්ලාදේශ පන්දු යවන්නා නිදහස් කරන ලෙස දැනුම්දීමෙන් පසුව ඔවුන් ඔහු නිදහස් කළ බවයි.

ලබන මාසයේ T20 ලෝක කුසලානයේදී බංග්ලාදේශය තරඟ තුනක් කොල්කටාහිදී ක්‍රීඩා කිරීමට නියමිත අතර, පෙබරවාරි 7 සිට මාර්තු 8 දක්වා මෙම තරඟාවලිය ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වේ.

කෙසේවෙතත්, තම ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව පිළිබඳ කණස්සල්ලට පත්ව සිටින බව බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය පවසයි.

“පවත්නා තත්ත්වය සහ ඉන්දියාවේදී බංග්ලාදේශ කණ්ඩායමේ ආරක්ෂාව පිළිබඳ මතුවෙමින් තිබෙන ගැටළු පිළිබඳ ගැඹුරු තක්සේරුවකින් පසුව සහ බංග්ලාදේශ රජයේ උපදෙස් සළකා බැලීමෙන් පසුව, වත්මන් තත්ත්වයන් යටතේ බංග්ලාදේශ ජාතික කණ්ඩායම තරඟාවලිය සඳහා ඉන්දියාවට නොයන බවට අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කළේය,” යනුවෙන් බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය පැවසීය.

මෙම තීරණය සැළකිල්ලට ගනිමින්, බංග්ලාදේශ කණ්ඩායමේ සියලුම තරඟ ඉන්දියාවෙන් පිටත ස්ථානයකට ගෙනයෑම සළකා බලන ලෙස බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් නිල වශයෙන් ඉල්ලා ඇත.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ තීරණයෙන් පසු බංග්ලාදේශ ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශකයෙකු වන අසිෆ් නස්රුල් පැවසුවේ බංග්ලාදේශය ඉන්දියාවට නොයන බවයි.

“අන්තවාදී වාර්ගික ප්‍රතිපත්තියේ සන්දර්භය තුළ ඉන්දියානු ක්‍රිකට් මණ්ඩලය ගත් මෙම තීරණය අපි සාදරයෙන් පිළිගනිමු,” යනුවෙන් නස්රුල් පැවසූ අතර, බංග්ලාදේශයේ ලෝක කුසලාන තරඟ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ඉල්ලා සිටින ලෙස මණ්ඩලයට උපදෙස් දුන් බව පැවසීය.

පසුගිය මාසයේ, හින්දු කර්මාන්තශාලා සේවකයකු වන දීපු චන්ද්‍ර දාස් බංග්ලාදේශයේ මයිමෙන්සිං දිස්ත්‍රික්කයේ දී මුහම්මද් නබිතුමා පිළිබඳ අපහාසාත්මක ප්‍රකාශ කළ බවට චෝදනා කළ පිරිසක් විසින් පහර දී පුළුස්සා දැමීමෙන් පසු නවදිල්ලියේ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලය අසල සිය ගණනක් විරෝධතා දැක්වූහ.

ඔහුගේ මරණය සම්බන්ධයෙන් පුද්ගලයන් 12 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම සිදුවීම ඉන්දියාව සහ බංග්ලාදේශය අතර සබඳතා නරක අතට හැරවූ අතර, බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට එරෙහි විරෝධතාවලින් පසු නවදිල්ලියට පලා යෑමෙන් පසු සබඳතා තවදුරටත් පළුදු වී ඇත.

සෙනසුරාදා මුස්තාෆිසුර් නිදහස් කිරීමෙන් පසු, බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය හදිසි රැස්වීමක් පවත්වා ඔවුන්ගේ තරඟ වෙනත් ස්ථානයකට ගෙන යෑමට කටයුතු කරන ලෙස ඉල්ලමින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය වෙත ලිපියක් යොමුකර තිබේ.

“කොන්ත්‍රාත්තුව ලබාගෙන සිටි බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයකුට ඉන්දියාවේ ක්‍රීඩා කළ නොහැකි නම්, මුළු බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමටම ලෝක කුසලානයට යෑමට ආරක්ෂිත බවක් දැනෙන්නේ නැති බව මණ්ඩලය පැවසුවා,” යනුවෙන් නස්රුල් පවසා තිබිණි.

පසුගිය වසරේ, සත්කාරක පාකිස්ථානය සමඟ සබඳතා පළුදුවීම හේතුවෙන් චැම්පියන්ස් කුසලාන තරඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩා කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ඉන්දියාවට අවසර දුන්නේය.

ක්‍රිකට් ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන Cricbuzz ඊයේ වාර්තා කළේ, මුස්තාෆිසුර් නිදහස් කිරීම සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය ඉන්දීය ක්‍රිකට් මණ්ඩලය වෙතින් විධිමත් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටින බවයි.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මේ සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රතිචාර දක්වා නැත.

බංග්ලාදේශය කොල්කටාහිදී බටහිර ඉන්දීය කොදෙව්, එංගලන්තය සහ ඉතාලිය සමඟ තරඟ කිරීමට නියමිත අතර පසුව මුම්බායිහිදී නේපාලයට එරෙහිව කණ්ඩායම් අදියර අවසන් කිරීමට නියමිතය.