December 27, 2025

අතුරුදන් වූ පිස්තෝලයක් සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 72 ක රැඳවුම් නියෝගයක් ලබාගෙන ඇති බව පොලිසිය පවසයි.

එම දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ඩග්ලස් දේවානන්ද අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

ඔහුගේ පෞද්ගලික ගිනි අවිය සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයින් අතට පත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.

අමාත්‍යවරයෙකුව සිටියදී ඩග්ලස් දේවානන්දට හමුදාව විසින් ඔහුගේ පුද්ගලික භාවිතය සඳහා ලබා දුන් ගිනි අවියක්, සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘මාකඳුරේ මධුෂ්’ නමැත්තාගෙන් ප්‍රශ්න කිරීමෙන් පසුව සොයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

ගිනි අවියේ අංක පරීක්ෂා කිරීමේදී, අදාළ ගිනි අවිය ඩග්ලස් දේවානන්දට නිකුත් කර ඇති බව අනාවරණය වී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.