December 10, 2025

අයහපත් කාලගුණික තත්ත්වය නිසා පැන නැඟුණු හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව බිඳ වැටී ඇති ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කඩිනමින් සහන සැලසීමට අදාළ උපදෙස් ලබා දෙමින් මහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්/ දිසාපතිවරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත මහා භාණ්ඩාගාර ලේකම්වරයා විසින් මේ චක්‍රලේඛය නිකුත් කර තිබේ.

ඒ අනුව මෙම ආපදාවෙන් බලපෑමට ලක්වූවන් සවිබල ගැන්වීමේ වැඩසටහන යටතේ රජය විසින් ලබාදීමට නියමිත සහන දීමනා මෙසේය.

නිවාස පිරිසිදු කිරීමට රු.25,000ක්

හදිසි ආපදා තත්ත්වය පහවයෑමත් සමග ආපදාවෙන් බලපෑමට ලක් වූ පවුල්වලට තම නිවාස නැවත පදිංචියට යෝග්‍ය පරිදි පිරිසිදු කර සුරක්ෂිතව පදිංචි වීම සඳහා නිවසේ අයිතිය නොසලකා එක් නිවාස ඒකකයකට එක්වරක් පමණක් ගෙවන දීමනාව රු.25000,

මුළුතැන්ගෙයි බඩු මුට්ටු ගන්න රු. 50,000ක්

ආපදාවෙන් බලපෑමට ලක් වූ නිවාසවල නැවත පදිංචියට අත්‍යවශ්‍ය මුළුතැන්ගෙයි බඩු මුට්ටු ආදිය මිලදී ගැනීම සඳහා නිවසේ අයිතිය නොසලකා එක් නිවාස ඒකකයකට එක්වරක් පමණක් ගෙවන දීමනාව රු.50000,

නිවාස අහිමි වූ පවුල්වලට මාසික දීමනාවක්

-නායයෑම් හා ගංවතුර හේතුවෙන් තම පදිංචි නිවස අහිමි වූ හෝ නිවස පූර්ණ ලෙස හානි වීම හේතුවෙන් ජීවනෝපාය කටයුතුවල අඛණ්ඩව නිරතවිය නොහැකි පවුල් වෙත මාස 03 ක කාලයක් එනම් 2025 දෙසැම්බර් හා 2026 ජනවාරි හා පෙබරවාරි මාස සඳහා ගෙවනු ලබන මාසික දීමනාව සාමාජිකයින් ගණන 02 ට අඩු පවුල් සඳහා රු.25000 ක් සහ සාමාජිකයින් ගණන 02 ට වැඩි පවුල් සඳහා රු.50,000

කුලී නිවසක පදිංචියට මාස 6ක් දක්වා රු. 25,000 බැගින්

-නායයෑම් හා ගංවතුර හේතුවෙන් තම නිවස අහිමි වී පදිංචි වීමට නිවසක් නොමැති නිවාස හිමියන් සඳහා නව නිවසක් ඉදි කර ගන්නා තෙක් වෙනත් ස්ථානයක තාවකාලිකව පදිංචි වීමට ලබා දෙන මාසික ගෙවල් කුලී දීමනාව උපරිමය මාස 06 ක් දක්වා මාසිකව රු.25000 බැගින්

විනාශ වූ වගාබිම් සඳහාත් දීමනාවක්

-ආපදාවෙන් බලපෑමට ලක් වූ වී, ධාන්‍ය, බඩ ඉරිඟු සහ ක්ෂේත්‍ර භෝග වගාබිම්වල වගා හානි හෝ නැවත වගා දීමනාව හෙක්ටයාරයකට රු.150000 වන පරිදි

-ආපදාවෙන් බලපෑමට ලක් වූ එළවළු වගාබිම්වල වගා හානි හෝ නැවත වගා කිරීම සඳහා එක්වරක් පමණක් ගෙවනු ලබන දීමනාව හෙක්ටයාරයකට රු.200000 වන පරිදි

බලපෑමට ලක්වූ සත්ත්ව පාලන ගොවිපළ හිමියකුට රු.200,000ක්

-ආපදාවෙන් බලපෑමට ලක් වූ සත්ත්ව පාලන ගොවිපළවල් සඳහා එක්වරක් පමණක් ගෙවනු ලබන දීමනාව (ලියාපදිංචි ගොවිපළ හිමියන් වෙත පමණි) එක ගොවිපළ හිමියකුට රු.200,000

ක්ෂුද්‍ර ව්‍යාපාර නැවත ආරම්භ කිරීමට ඒකකයකට රු.200,000 ක්

-ආපදාවෙන් බලපෑමට ලක්ව ඇනහිට ඇති තනි, සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාර නැවත ආරම්භ කිරීමට සුදුසු තත්ත්වයට පත් කිරීම සඳහා එක්වරක් පමණක් ගෙවනු ලබන දීමනාව එක් ඒකකයකට රු.200,000 ක්

ධීවර බෝට්ටුවකට රු. රු. 400,000 ක්

-ආපදාවෙන් හානි වූ ධීවර බෝට්ටු සඳහා හානි පූරණය කිරීම ධීවර බෝට්ටුවක් සඳහා උපරිමය රු. 400,000

පාසල් පොත්පත් ඇඳුම් ගන්න එක් දරුවකුට රු.15,000 බැගින්

-ආපදා බලපෑමට ලක්වූ පාසල් සිසුන්ට පොත්පත් සහ ඇඳුම් පැළඳුම් මිල දී ගැනීම සඳහා එක්වරක් පමණක් ලබා දෙන දීමනාව එක් පාසල් දරුවකුට රු.15,000

-ආපදා බලපෑම හේතුවෙන් හානි වී ඇති ව්‍යාපාරික ගොඩනැඟිලි සඳහා හානි පූරණය ඒකකයකට උපරිමය රු.5000000 දක්වා (හානි තක්සේරුව අනුව)

-ආපදා බලපෑම හේතුවෙන් පූර්ණ වශයෙන් හානි සිදුවී ඇති, පදිංචි වීමට නොහැකි නිවාස සඳහා නව නිවසක් ඉදි කර ගැනීමට ලබා දෙනු ලබන දීමනාව නිවාස ඒකකයකට රු.5000000 ක්

රජයේ ඉඩමක් නොලැබුණොත් සුදුසු ඉඩමක් ගන්න රු. 5,000,000 ක්

-ආපදා බලපෑම හේතුවෙන් පදිංචිව සිටි නිවස පූර්ණ වශයෙන් හානි වී ඇති විට, නව නිවසක් ඉදිකිරීම සඳහා රජයේ ඉඩමක් ලබා දීමට නොහැකි අවස්ථාවක දී සුදුසු ඉඩමක් මිල දී ගැනීමට ගෙවනු ලබන දීමනාව එක් නිවාස ඒකකයකට උපරිමය රු.5,000,000 ක්

-ආපදා බලපෑම හේතුවෙන් අර්ධ වශයෙන් හානි වූ නිවාස පිළිසකර කර ගැනීම සඳහා ගෙවනු ලබන දීමනාව උපරිමය රු.250000 ක් දක්වා (හානි තක්සේරුව අනුව)

ජීවිත හානියකට හෝ පූර්ණ ආබාධිත තත්ත්වයකට රු. 1000000 ක්

-ආපදා බලපෑම හේතුවෙන් සිදු වූ ජීවිත හානියකදී මියගිය පුද්ගලයාගේ ළඟම ඥාතියා වෙත හෝ පූර්ණ ආබාධිත තත්ත්වයකට පත් වීමකදී අදාළ පුද්ගලයා වෙත හිමි දීමනාව එක් පුද්ගලයකු වෙත රු. 1000000 ක්

අංක 2464/30 දරන 2025.11.28 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කර ඇති හදිසි ආපදා තත්ත්වයට පමණක් මෙම සහන සීමා වේ. එහෙත් මෙකී චක්‍රලේඛයේම සඳහන් අවමංගල්‍ය කටයුතු සඳහා වන රු.50000 ක අත්තිකාරම් මුදල තවදුරටත් ගෙවිය හැකිය. එය මෙම චක්‍රලේඛය ප්‍රකාරව හිමිගන්වනු ලබන ජීවිත හානියක දී ගෙවනු ලබන මුදලින් නැවත අඩු නොකළ යුතුය.

2025 නොවැම්බර් මස 21 වන දින සිට බල පෑ විස්තීරණ ආපදා තත්ත්වය හේතුවෙන් හානියට පත් නිවෙස් පදිංචියට සුදුසු පරිදි යථාවත් කර ගැනීම වෙනුවෙන් රු. 25000 ක දීමනාවක් ලබා දීම යන මැයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විසින් නිකුත් කරන ලද 2025.12.02 දිනැති ලිපිය මගින් හිමිගන්වා ඇති රු.25000 ක දීමනාව දැනටමත් ලබාගෙන ඇති නිවාස ඒකක වෙත මෙම අංක 01 හි සඳහන් දීමනාව නැවත නොගෙවිය යුතුය.

මෙම චක්‍රලේඛයට අනුව ඉඩමක් සඳහා දීමනාව හිමිගැන්වීමෙන් පසුව, මුල් ඉඩම රජයට විධිමත් පරිදි පවරා ගැනීමට කටයුතු කෙරේ. මෙම සහනවලට අදාළ ප්‍රතිලාභීන්ගේ විස්තර සහ ගෙවීම් පිළිබඳ විධිමත් දත්ත හා තොරතුරු පවත්වා ගැනීමට ක්‍රියාත්මක කරන ආයතන වගබලා ගත යුතුවේ.

මෙම සවිබල ගැන්වීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී අදාළ වියදම් දරන ආයතන වෙත අවශ්‍ය ප්‍රතිපාදන භාණ්ඩාගාරය විසින් සලසා දෙන බව ද භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා යවන ලද චක්‍රලේඛයේ තවදුරටත් දැක්වේ.

අයහපත් කාලගුණික තත්ත්වය නිසා පැන නැඟුණු හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අංක 2464/30 දරන 2025.11.28 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මඟින් ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

විහාරස්ථාන සහ ආගමික සිද්ධස්ථානවලටත් පිරිසිදු කර ගැනීමට රු.25,000ක්

මේ අතර ආපදාවට ලක්වූ විහාරස්ථාන සහ ආගමික සිද්ධස්ථානවලට ද පිරිසිදු කර ගැනීමේ කටයුතු සඳහා ලබා දෙන රුපියල් 25,000ක දීමනාව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් ලබා දීමට පියවර ගන්නා බවත්, ඒ පිළිබඳව මෙම සතියේ කැබිනට් තීරණයකට එළඹීමට නියමිත බවත් ජනාධිපතිවරයා සඳහන් කළේ, පීඩාවට පත් බදුල්ල දිස්ත්‍රික්කයේ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සහ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට පෙරේදා (08) පස්වරුවේ ඌව පළාත් පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනි.(දිවයින)