December 6, 2025

ව්‍යසනයට ලක් වී ඇති රට ගොඩනැඟීම සඳහා වසර 3ක ඉලක්කයක් සහිත විශේෂ සැලසුමක් සකස්කරන බවත්, ඒ වෙනුවෙන් විශේෂ විධිවිධාන පනතක් කෙටුම්පත් කොට සම්මත කරගැනීමට කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.

අයවැය තුන්වැනි වර කියවීමේ විවාදයට එක් වෙමින් සිකුරාදා (5) පස්වරුවේ ජනාධිපතිවරයා අවධාරණය කළේ ඒ පිළිබඳ නීතිඥවරුන් සමග සාකච්ඡා කරමින් සිටින බවයි.

එම සැලසුමට සහය දීම සඳහා ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය පාර්ලිමේන්තුවේදී වසර කිහිපයක් එක්ව කටයුතු කිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වාදුන්නේය.

මේ කාලය තුළ පාර්ලිමේන්තුව ජාතික සභාවක් ලෙස එකට කටයුතු කිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමුකරන ලෙස ඉල්ලා සිටි ජනාධිපතිවරයා, පාර්ලිමේන්තුවේ මූල්‍ය බලයට පිටින් කිසිවක් සිදුනොකරන බවටද සහතික විය.

ව්‍යසනයට මුහුණදීම සඳහා අවශ්‍ය පරිදි කටයුතු නොකළ බව පවසන පිරිස්වලට ඒ සම්බන්ධයෙන් නඩු දැමීමේ හැකියාව පවතින බවත්, එවැනි වාද-විවාදවලට කාලය ගතකිරීමට වඩා වැදගත් වන්නේ ජනතාවගේ ජීවිත ගොඩනැඟීමට සම්පූර්ණ කාලය වැයකිරීම බවත් මෙහිදී පෙන්වාදුන් ජනාධිපතිවරයා, ඊට සියලුදෙනා එක්ව කටයුතු කිරීමේ වැදගත්කමද අවධාරණය කළේය.

ව්‍යසනයකට මුහුණ දීම සඳහා අවශ්‍ය පූර්ව සැලසුම් ආණ්ඩුව මඟින් සකස් කරමින් සිටි බවත්, රටේ ගුවන් බලය ශක්තිමත් කිරීම සහ පළාත් පාලන ආයතනවලට බැකෝ යන්ත්‍ර මිල දී ගැනීම ඊට උදාහරණ බවත් සඳහන් කළ ජනාධිපතිවරයා, ආපදාවට ලක් වූ ජනතාව ගොඩනැඟීමේ ආණ්ඩුවේ සැලසුමද මෙහිදී දීර්ඝව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ව්‍යසන කළමනාකරණ පනත දුර්වල බව පෙනීයෑම නිසා ඒ පිළිබඳ සිදු කළ සාකච්ඡාවලින් පසු හදිසි නීතිය ප්‍රකාශයට පත්කිරීමට කටයුතු කළ බවත්, ආපදාව සම්බන්ධ කටයුතුවලට හැර වෙනත් කිසිදු කටයුත්තකට හදිසි නීතිය යොදා නොගන්නා බවත් මෙහිදී ශපථ කළ ජනාධිපතිවරයා, ජාතික ජන බලවේග ආණ්ඩුව මෙහිදී කිසිදු ආකාරයකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර නැති බවද අවධාරණය කළේය.

පාර්ලිමේන්තුවේදී මෙන්ම ඉන් පිටතදීද විවිධ කණ්ඩායම් පැවසූ ආකාරයට අයවැය වෙනස් නොකරන බවත්, විධිමත් ආර්ථික සැලසුමකට අනුව සකස් කළ අයවැය එසේ හදිසියේ වෙනස් කළ නොහැකි බවත් පෙන්වාදුන් ජනාධිපතිවරයා, මේ සැලසුම විධිමත්ව ක්‍රියාත්මක කිරීමට බාධා නොකරන ලෙසද ඉල්ලා සිටියේය.