December 6, 2025

හොලිවුඩයේ වෝනර් බ්‍රදර්ස් ඩිස්කවරි සතු චිත්‍රපට සහ විකාශන ව්‍යාපාරය ඩොලර් බිලියන 72කට මිලදී ගැනීමට Netflix එකඟ වී තිබේ.

Comcast සහ Paramount Skydance යන ප්‍රතිවාදීන් අභිබවා වෝනර් බ්‍රදර්ස් සඳහා ඉහළම ලංසුකරු බවට පත්වීමට Netflix සමත් වී ඇත.

හැරී පොටර් සහ ගේම් ඔෆ් ත්‍රෝන්ස් සඳහා නිල අයිතිය සහ HBO මැක්ස් විකාශන සේවාව වෝනර් බ්‍රදර්ස් සතුය.

මෙම අත්පත් කර ගැනීම එක්සත් ජනපද චිත්‍රපට හා මාධ්‍ය කර්මාන්තයේ රැඩිකල් ප්‍රතිනිර්මාණයකට තුඩු දෙනු ඇතත් විශ්ලේෂකයන් අනතුරු අඟවා ඇත්තේ එයට තරඟකාරී බලධාරීන්ගෙන් විරෝධයක් එල්ල විය හැකි බවයි.

Netflix සම-ප්‍රධාන විධායක ටෙඩ් සරන්ඩෝස් පැවසුවේ වෝනර් බ්‍රදර්ස් සතු කැසබ්ලැන්කා වැනි චිත්‍රපට ඇතුළත් පුස්තකාලය සහ ෆ්‍රෙන්ඩ්ස් වැනි කතා මාලාවන් විකාශන වේදිකා සමඟ ඒකාබද්ධ කිරීමෙන් ප්‍රේක්ෂකයන්ට ඔවුන් ආදරය කරන දේට වැඩි යමක් ලබා දිය හැකි බවයි.

“වෝනර් බ්‍රදර්ස් විනෝදාස්වාදය සමබන්ධයෙන් පසුගිය සියවස නිර්වචනය කර තිබෙනවා, මේ එක්වීමෙන් අපට ඊළඟ සියවස නිර්වචනය කළ හැකියි,” ඔහු පැවසීය.

සරන්ඩෝස් පැවසුවේ මෙම අත්පත් කර ගැනීම ඇතැම් කොටස් හිමියන් පුදුමයට පත් කර ඇතත් එය ඉදිරි දශක සඳහා Netflix හි සාර්ථකත්වය සැකසීමට දුර්ලභ අවස්ථාවක් බවයි.

මෙම ගිවිසුම මගින් ‘ලෝකයේ කතන්දර කියන ශ්‍රේෂ්ඨතම සමාගම් දෙකක්’ ඒකාබද්ධ කරන බව වෝනර් බ්‍රදර්ස් හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් සැස්ලාව් පැවසුවේය.

මුදල් සහ කොටස් ගනුදෙනුව වෝනර් බ්‍රදර්ස් කොටසකට ඩොලර් 27.75ක් වූ අතර, සමාගමේ ණය සහ එහි කොටස්වල වටිනාකම ඇතුළුව මුළු ව්‍යවසාය වටිනාකම ඩොලර් බිලියන 82.7ක් පමණ වේ.

කොටස් වටිනාකම හෝ මුදල් මිල ඩොලර් බිලියන 72කි.

අධ්‍යක්ෂ මණ්ඩල දෙකම ඒකමතිකව ගනුදෙනුව අනුමත කළහ.

වෝනර් බ්‍රදර්ස් අත්පත් කර ගැනීම මගින් Netflix හට චිත්‍රාගාර නිෂ්පාදන ධාරිතාව පුළුල් කිරීමට සහ ආයෝජනය වැඩි කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.