December 6, 2025

ස්වාභාවික ව්‍යසනයෙන් ගම්පොළ පුද්ගලයන් දහසක් මියගිය බවට මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය පාර්ලිමේන්තුවෙන් පිටතදී සිදු කළහොත් ඔහුට විරුද්ධව නඩු පවරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය.

එම මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී ජනතාව නොමඟ යැවීමට කටයුතු කළේ යැයි ද පැවසූ ජනාධිපතිවරයා, බොරු ප්‍රකාශ කරමින් කිසිවකුට ජනතාව එසේ ‘කුලප්පු කිරීමට’ ඉඩ නොදෙන බවද කීවේය.

ජනතාව මර්දනය කිරීමට හදිසි නීතිය කිසිසේත් යොදා ගන්නේ නැති බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

එක්තරා ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වනවිට විශාල කතාබහක් ඇතිවී තිබෙන බවත්, සඳහන් කළ ජනාධිපතිවරයා නමුත් එවැනි අනියත බියක් කවුරුන් විසින් හෝ ඇති කරගත යුතු නැතැයි ද සඳහන් කළේය.

තමාට හෝ ආණ්ඩුවට මඩ හෝ අවලාද නැගුවත් ඒවා තඹේකට මායිම් නොකරන බව ද හෙතෙම සඳහන් කළේය. තමාට මීට වසර 15ක සිට ගසන මඩ ඇතැයිද සඳහන් කළ ජනාධිපතිවරයා අවශ්‍ය නම් මීට සාමාන්‍ය නීතිය යටතේ කටයුතු කරන බවද සඳහන් කළේය.

තමාට අවලාද නැගූ එක් මන්ත්‍රීවරයකු පසුගිය දිනවලදී අධිකරණයේදී සමාව ගත් බවත් එන මාසයේදී ද තවත් මන්ත්‍රීවරයකු සමාව ගැනීමට නියමිත බවත් ජනාධිපතිවරයා මෙහිදී කීවේය.

එහෙත් ස්වාභාවික ව්‍යසනය පාලනය කිරීමට ඉඩ නොදී ජනතාව භීතියට පත්කරමින් නොසන්සුන්තා ඇති කිරීමට කටයුතු කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද සඳහන් කළ ජනාධිපතිවරයා නමුත් කිසිසේත් තමාට හෝ ආණ්ඩුවේ පාර්ශ්ව වෙත අවලාද නැගුවා කියා හදිසි නීතිය ක්‍රියාත්මක කරන්නේ නැතැයිද කීවේය.