December 2, 2025

පසුගිය සතියේ ඇති වූ දරුණු ගංවතුර තත්ත්වය අතරතුර ශ්‍රී ලංකාවේ ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට රජය අපොහොසත් වී ඇති බවට එක්සත් ජාතික පක්ෂය අඟහරුවාදා චෝදනා කරයි.

එම අතපසු වීම රට පුරා වාර්තා වූ විනාශයේ පරිමාණය ඉහළ නැංවූ බව එජාපය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

2025 දෙසැම්බර් 02 දිනැති විශේෂ ප්‍රකාශයකින්, 2005 අංක 13 දරන ආපදා කළමනාකරණ පනත යටතේ ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම සකස් කර ක්‍රියාත්මක කිරීමට ආපදා කළමනාකරණ කවුන්සිලය නීත්‍යානුකූලව බැඳීසිටින නමුත් සැලැස්මේ දක්වා ඇති ප්‍රධාන ක්‍රියාපටිපාටි අනුගමනය කර නොමැති බව එජාපය පෙන්වාදෙයි.

එම ලේඛනයට අනුව, සැලැස්මට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය වැනි තාක්ෂණික ආයතන සමඟ මෙන්ම අන්තර්ජාතික පූර්ව අනතුරු ඇඟවීමේ ආයතන සමඟ නිරන්තර සම්බන්ධීකරණය අවශ්‍ය වේ.

එය පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීම, නිවේදන සකස් කිරීම සහ ග්‍රාම නිලධාරී කොට්ඨාශ, මාධ්‍ය, ජංගම අනතුරු ඇඟවීම්, ඇමතුම් මධ්‍යස්ථාන සහ පළාත් පාලන ආයතන හරහා අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ට අනතුරු ඇඟවීම් බෙදාහැරීම ද සිදුකරයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය, හමුදාව, පොලිසිය, පළාත් ආයතන සහ මානුෂීය සංවිධාන සම්බන්ධ වන “අවසාන සැතපුම් ව්‍යාප්ත කිරීමේ” ක්‍රියාවලියක් ද මෙම සැලැස්මේ දක්වා ඇත.

ගංවතුර, නායයෑම් සහ කුණාටු වැනි උපද්‍රව පිළිබඳව තාක්ෂණික ආයතනවල සිට ප්‍රජා මට්ටමේ අනතුරු ඇඟවීම් දක්වා අවශ්‍ය සන්නිවේදන දාමය පෙන්වන තොරතුරු චිත්‍රයක් ඊට ඇතුළත් වේ.

සැලැස්මේ 3.13 වගන්තිය යටතේ අවශ්‍ය වන සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු ප්‍රධාන ආයතන සම්බන්ධ කර ගනිමින් ජාතික මට්ටමේ වාර්ෂික සූදානම රැස්වීම් අනිවාර්ය හදිසි සූදානම ක්‍රියාවලියේ කොටසක් බව එජාපය පවසයි.

2023-2030 සැලැස්ම පිළිබඳ සංවේදීකරණ වැඩමුළුවක් මෙම වසරේ ජුනි මාසයේදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රධාන කථිකයා ලෙස කටයුතු කළ බව එම එජාප නිවේදනයේ සඳහන් වේ.

එක්සත් ජාතික පක්ෂය පවසන්නේ, රට දිත්වා සුළි කුණාටුවේ දරුණුතම බලපෑම් සඳහා සූදානම් වෙමින් සිටියද, නොවැම්බර් 27 වැනි දින සැලැස්ම ක්‍රියාත්මක නොකළ බවයි.

ඒ වෙනුවට, වඩාත්ම තීරණාත්මක මෙහෙයුම් දිනය වන නොවැම්බර් 28 වැනි දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලද අතර, සැලැස්මේ දක්වා ඇති පූර්ව අනතුරු ඇඟවීමේ සන්නිවේදනය “කිසි විටෙකත් ක්‍රියාත්මක නොවීය” යනුවෙන් එජාපය සඳහන් කරයි.

ආපදා කළමනාකරණ පනතේ 11 සහ 12 වගන්ති ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා අපොහොසත් වී ඇති බවත්, එමඟින් ආපදා තත්වයක් ප්‍රකාශ කිරීමට ඉඩසැලසෙන බවත් එම ප්‍රකාශයේ තවදුරටත් තර්ක කර ඇත.

එහි ප්‍රතිඵලයක් ලෙස, පනත “කිසි විටෙකත් ක්‍රියාත්මක නොවීය” යනුවෙන් එජාපය පවසයි.

ජනාධිපතිවරයා, අගමැති සහ කැබිනට් මණ්ඩලය “ව්‍යසනයකින් සිදුවන හානිය අවම කිරීම සඳහා නීතිවල අදාළ විධිවිධාන යටතේ ක්‍රියාකිරීමට අපොහොසත් වී ඇති” බව ද එජාපය ප්‍රකආෂ කරයි.

පාස්කු ඉරිදා ප්‍රහාර නඩු වලින් ශ්‍රේෂ්ඨාධිකරණ නිරීක්ෂණයක් උපුටා දක්වමින් එක්සත් ජාතික පක්ෂය පවසන්නේ, අර්බුදයකදී විධායකය ක්‍රියාකිරීමට හෝ හානි වැළැක්වීමට අපොහොසත් වීම ජීවත්වීමේ මූලික අයිතිය උල්ලංඝනය කරන්නේ නම් එය ව්‍යවස්ථාමය උල්ලංඝනයක් විය හැකි බවයි.

මීට සමාන කරුණු පෙළක් දක්වමින් සමගි ජන බලවේගයද රජයට විරුද්ධව අපරාධ නඩුවක් ගොනුකරන බව ප්‍රකාශ කර ඇත.