November 24, 2025

වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ ක්‍රියාත්මක වන අන්තර්ජාතික මාර්ගගත වංචා ජාලයක නවතම ගොදුරක් බවට ශ්‍රී ලංකාවේ විශ්‍රාමික විනිසුරුවරියක් පත්ව ඇති බව වාර්තා වේ.

අපරාධකරුවන් ඇයගේ බැංකු ගිණුමට රිංගා රුපියල් 400,000 කට ආසන්න මුදලක් වංචා කර ඇත්තේ, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව ලෙස පෙනීසිටිමින්, ඇයගේ පාර්සලයක් සඳහා මාර්ගගත ගෙවීමක් කිරීමට ඇයව පොළඹවා ගැනීමෙනි.

විමර්ශනවලට අනුව, වංචාකරුවන් තැපැල් දෙපාර්තමේන්තුව හරහා පැකේජයක් පැමිණ ඇති බව පවසමින් කෙටි පණිවුඩ යවා, ලබන්නාට මාර්ගගත ගෙවීම් සබැඳියක් හරහා කුඩා ගාස්තුවක්, සාමාන්‍යයෙන් රු. 100 ට අඩු මුදලක් ගෙවන ලෙස ඉල්ලා සිටී.

වින්දිතයා තම බැංකු තොරතුරු ඇතුළත් කළ පසු, වංචාකරුවන් ගිණුමට අනවසරයෙන් ප්‍රවේශ වී සොරකම් කරන ලද මුදල් විදේශ මුදල් බවට පරිවර්තනය කරයි.

හිටපු විනිසුරුවරරියක වන වින්දිත තැනැත්තිය මරදාන තැපැල් කාර්යාලයට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

තැපැල්පති රුවන් සත්කුමාර පවසන්නේ, වංචාව පිටුපස සිටින සංවිධානාත්මක කණ්ඩායම වසර දෙකකට වැඩි කාලයක් ක්‍රියාකාරීව සිටින නමුත් ඔවුන්ගේ අනන්‍යතාවන් තවමත් නොදන්නා බවයි.

තැපැල් දෙපාර්තමේන්තුවේ තාක්ෂණික අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ චම්ලි විජිතපාල අනතුරු අඟවන්නේ, මෙම වංචනික ක්‍රියාව වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත්, බොහෝවිට ප්‍රසිද්ධ දේශීය වෙළඳ නාමවල නම් භාවිත කරමින් වින්දිතයන් රැවටීමට උත්සාහ කරන බවත්ය.

ඇමරිකානු ඩොලර්, ඕස්ට්‍රේලියානු ඩොලර්, සිංගප්පූරු ඩොලර්, ස්විස් ෆ්‍රෑන්ක් සහ බ්‍රිතාන්‍ය පවුම් වැනි ඉහළ වටිනාකමක් ඇති විදේශ මුදල්වලින් පාඩු සිදුකිරීම සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක් ලැබී ඇති බවත් ඇය පවසයි.

වංචාකරුවන් නිල තැපැල් දෙපාර්තමේන්තු පිටුවට සමාන ව්‍යාජ වෙබ් අඩවි නිර්මාණය කර ඇති අතර, අනවසර ගනුදෙනු සිදු කිරීම සඳහා OTP කේත භාවිත කර ඇත.

මහබැංකුවේ විමර්ශන ඒකකය, ශ්‍රී ලංකා CERT ආයතනය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශය යන සියල්ලටම මේ පිළිබඳව දැනුම් දී ඇත.

තම ආයතනය ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත් හරහා කිසිදු මාර්ගගත ගෙවීමකට සහාය නොදක්වන බව තැපැල් දෙපාර්තමේන්තුව අවධාරණය කරන අතර, තැපැල් සේවාවන්ට සම්බන්ධ බව පවසන පුද්ගලයන් සමග එවැනි ගනුදෙනු සිදුනොකරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

වංචාව තනි පුද්ගලයෙකු හෝ සංවිධානාත්මක අන්තර්ජාතික කණ්ඩායමක් විසින් සිදුකරන්නේද යන්න විමර්ශකයන්ට තවමත් තීරණය කිරීමට නොහැකි වී ඇති බවද තැපැල් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.