November 11, 2025

ශ්‍රී ලංකා රේගුව විසින් ගොනු කරන ලද මෝසමකින් දක්වා ඇති පරිදි අදාළ ආයතනික ඇපකර සහ බැංකු ඇපකරවලට යටත්ව රේගුව විසින් රඳවාගෙන සිටින BYD වාහන 625ක් කඩිනමින් නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය ශ්‍රී ලංකා රේගුවට නියෝග කළේය.

John Keells CG Auto (Pvt) Ltd විසින් ගොනුකර තිබූ රිට් පෙත්සම් කිහිපයක් විභාගයට ගත් අවස්ථාවේදී අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය සහ විනිසුරු කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවන් මෙම නියෝගය ලබාදී ඇත.

රේගුව තනි මතයට පාරිභෝගිකයන් වෙත නිදහස් කිරීම් සඳහා ඉඩ නොදී රඳවා තබාගෙන ඇති ඇතැම් BYD වාහන මාදිලිවල මෝටර් ධාරිතා ගැටලුව පිළිබඳව මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණයට දන්වා සිටියේ පහත සඳහන් වාහන මාදිලි අදාළ ඇපකර මත අධිකරණ නියෝගයට අවනත වෙමින් මුදාහරින බවයි.

ඒ අනුව BYD Atto 2 Premium–70kw, BYD Atto 1 Dynamic–45kw, BYD Atto 1 Premium–45kw, සහ BYD Dolphin Dynamic–70kw. යන මෝටර් රථ මාදිලි ධාරිතාවන්ට අදාළ ඇපකර යටතේත්, BYD Dolphin Standard – 49kw සහ BYD Sealion 7-100kw ධාරිතා යටතේ අදාළ ඇපකර මත මුදා හැරීමට ද රේගුවට නියෝග කළේය.

එලෙසම BYD Atto 1 Dynamic වාහන 130ක් සහ BYD Atto 1 Premium වාහන 74ක්, BYD Dolphin Standard – 49kw වාහන 232ක් සහ BYD Sealion 7-100kw වාහන තුනක් ද ඇපකර මත නිකුත් කිරීමට නියෝග කෙරිණි.

මේ අතර, BYD වාහන කිහිපයක් ඒවායේ මෝටර් ධාරිතාව පරීක්ෂා කිරීම පහසු කිරීම සඳහා තව දුරටත් රේගු භාරයේ පවතින බව අධිකරණයට දැනුම් දෙන ලදී.

මෙහි දී විශේෂයෙන් පෙත්සම්කරුවන් වන මෙරට BYD බලයලත් එකම නියෝජිත John Keells CG Auto (Pvt) Ltd වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆර්සානා ජමීල් මහත්මිය ශ්‍රී ලංකා රේගු ආයතනයට වාහන නිදහස් කරන ලෙසත් අදාළ නඩු කටයුතුවල පිටපත් පෙත්සම්කරුවන්ට ලබා දෙන ලෙසත් නියෝගයක් නිකුත් කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අභියාචනාධිකරණය එකඟ වූ ඇපකරවලට අනුව එම වාහන කඩිනමින් පෙත්සම්කරුවන් වෙත මුදාහරින ලෙස ශ්‍රී ලංකා රේගුවට නියෝග කළේය.

ජාත්‍යන්තර පරීක්ෂණයකින් තොරව දේශීය පරීක්ෂණයකට අර අදිමින් සිටීම හේතුවෙන් මෙම BYD වාහන සඳහා අදාළ සමාගම හරහා මෝටර් රථ පෙර ඇණවුම් කරන ලද විශාල පිරිසක් අපහසුතාවයට පත්වනු දැකිය හැකි වූ අතර එමගින් එම ආයතනයත්, රාජ්‍ය යාන්ත්‍රණයත් අපහසුතාවයට ලක් වීමට කරුණු යෙදිණි.

රේගුවේ මෙම ප්‍රමාදයට එරෙහිව පසුගිය දා එම පාරිභෝගිකයින් උද්ඝෝෂණයක් සංවිධානය කිරීමට ද පියවර ගත් අතර එහිදී ඔවුන් වහාම සිය ඇණවුම් ලබා ගැනීම සඳහා වාහන නිදහස් කරන ලෙස බලධාරීන්ට බල කර සිටියේය.

මින් ඉහතදී ද අධිකරණය මෙම ක්‍රමවේදය හරහා ජනතාවට සිදුවන අපහසුතාවය සහ ආයතනයට සිදුවන අපහසුතාවය පිළිබඳවද සැලකිලිමත් විය යුතු බව සඳහන් කර තිබිණි.

මෙම සියලු කරුණු කාරණා සමඟ අදාළ සමාගම විසින් ඉදිරිපත්කර තිබු පෙත්සම් ගැඹුරින් සලකා බැලීමෙන් අනතුරුව වාහන තොගය නිදහස් කිරීම සඳහා අධිකරණය නියෝග කරනු ලැබිණි.