October 7, 2025

බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාව පරිශ්‍රය තුළ පිහිටා ඇති පොලිස් ස්ථානය, නිල නියෝග මත හදිසියේ වසාදමා පැය 24 කට පසුව නැවත විවෘත කර තිබේ.

පොලිස් මූලස්ථානයට අනුව, ඔක්තෝබර් 3 වන දින ලැබුණු නියෝගයකට අනුව එම පොලිස් ස්ථානය වසාදමා ඇති අතර ආයුධ, පතොරම්, පොත් සහ වාර්තා ඇතුළු එහි සියලු දේපළ ඉවත් කර තිබිණි.

කෙසේවෙතත්, පසුව ලැබුණු නියෝගයක් හේතුවෙන් දිනකට පසුව එය නැවත විවෘත කර තිබේ.

ඒ, පෙර අවස්ථාවේ එහි සේවය කළ නිලධාරීන්ගේ සංඛ්‍යාවට සාපේක්ෂව අඩු නිලධාරීන් සංඛ්‍යාවක් සමඟය.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු උපුටා දක්වමින් Daily Mirror පුවත්පත වාර්තා කළේ BMICH පරිශ්‍රයේ පිහිටි පොලිස් ස්ථානයේ ඇති සියලුම උපකරණ බොරැල්ල පොලිස් ස්ථානයට මාරුකරන ලෙස උපදෙස් දෙමින් විශේෂ පණිවිඩයක් ලැබී තිබූ බවයි.

කෙසේවෙතත් පොලිස් ස්ථානය හදිසියේ වසාදැමීමට හේතුව එහි නිශ්චිතව දක්වා නොමැති බව ද ඔහු පවසා ඇත.

BMICH පරිශ්‍රයේ පිහිටි පොලිස් ස්ථානයට මීට පෙර අනුයුක්ත කර සිටි සියලුම නිලධාරීන් තාවකාලිකව කුරුඳුවත්ත සහ බොරැල්ල පොලිස් ස්ථාන වෙත මාරුකර ඇති බව ආරංචි මාර්ග පවසයි.

BMICH පොලිස් ස්ථානය මුලින් ‘C’ පන්තියේ ස්ථානයක් ලෙස ස්ථාපිත කරන ලද අතර 2017 දී ‘B’ පන්තියේ ස්ථානයක් බවට උසස් කර තිබිණි.