October 1, 2025

රජය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) බොරු සාක්ෂි ගොඩනැගීම සහ දේශපාලන වාසි තකා මහජන මතය වෙනතකට යොමුකිරීමට උත්සාහ කරන්නේ යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ චෝදනා කරයි.

මන්ත්‍රීවරයා අවධාරණය කළේ, 2015 වසරේ සිට හිටපු යහපාලන ආණ්ඩුව සහ වත්මන් ආණ්ඩුව විසින් රාජපක්ෂවරුන් ඉලක්ක කරගෙන නොයෙක් අභූත චෝදනා ගොඩනැගූ බවයි.

ඔහු පෙන්වාදෙන්නේ, තජුඩින්ගේ නඩුව සම්බන්ධයෙන් නාරාහේන්පිට OIC ලවා බොරු සාක්ෂි කියවීමට එදා හිටපු නිලධාරීන් කටයුතු කළ බවත්, එම නිලධාරීන්ම අද ඉහළ පුටුවල වාඩි වී සිටින බවත්ය.

මීට අමතරව, හිටපු නාවික හමුදාපතිවරයාගේ නඩුව සම්බන්ධයෙනුත් බොරු සාක්ෂි කියන්න බලපෑම් කළ බවට පොලිසියේ නිලධාරියෙක් අධිකරණයට දැනුම් දී ඇති බව නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිරන්තරයෙන් බොරු සාක්ෂි නිර්මාණය කර ආණ්ඩුව සතුටු කරවන්න උත්සාහ කරන බවටද ඔහු චෝදනා කරයි.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසන්නේ, පොලිසියේ මාධ්‍ය ප්‍රකාශකවරයා කරුණු ජනමාධ්‍යයට දැක්වීම වෙනුවට, එම කරුණු අධිකරණය හමුවේ ඉදිරිපත් කළයුතු බවයි.

කරුණු ජනමාධ්‍ය හමුවේ ඉදිරිපත් කිරීමෙන් පෙනීයන්නේ මේ නඩුව සම්බන්ධයෙන් දේශපාලනික වශයෙන් කතිකාවතක් ගොඩනැගීමට ඇති උමනාව බවද ඔහු සඳහන් කරයි.

නාමල් රාජපක්ෂ ආණ්ඩුවට සහ පොලීසියට දැඩිව කියාසිටියේ, සියලු කාරණා ගැන අපක්ෂපාතීව පරීක්ෂණ කටයුතු කරන ලෙසයි.

තජුඩින් නඩුව පිළිබඳව අදහස් දක්වමින් ඔහු පැවසුවේ, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරන ආකාරයටම, යම්කිසි කෙනෙක් තමන්ගේ ස්වාමි පුරුෂයා ඉනට අත තියන් ඉන්නවා යැයි හඳුනාගත්තා නම්, ඇයගේ ස්වාමි පුරුෂයා කවුද, ඇය පසුගිය දිනවල කොහේද ජීවත් වුණේ, කා සමඟද සිටියේ, කවුරුන් ඇසුරු කළේද යන කාරණා ආණ්ඩුව සහ පොලිසිය සොයාබැලිය යුතු බවයි.

මෙම තඩුඩීන් නඩුව දේශපාලන වේදිකාවක් නිර්මාණය කිරීමට වෙහෙස නොවී, යම්කිසි අසාධාරණයකට ලක්වී ඇත්නම් ඒ පිළිබඳව සාධාරණව අපක්ෂපාතීව පරීක්ෂණයක් කළ යුතු බවත් එසේ නොකළහොත් එය යම් යම් අයගේ පෞද්ගලික හේතු කාරණා ඉෂ්ට කරගැනීමට සහ ආණ්ඩුවේ දේශපාලන වාසිය හා අවස්ථාව ඉෂ්ට කරගැනීමට කරන දෙයක් බවටද ඔහු චෝදනා කරයි.

ඔහු සඳහන් කළේ, ආණ්ඩුව තමන්ව ප්‍රශ්න කරන විට, ප්‍රශ්නවලට උත්තර නැතිවන විට, එම ප්‍රශ්නය යට ගැසීමට ජනතාවගේ මතය වෙනත් දෙසකට යොමුකිරීමට උත්සාහ කරන බවයි.

එමෙන්ම, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා හෝ වෙනත් පුද්ගලයෙක් වේවා, ආණ්ඩුවේ උමනාව මත බොරු කරුණු දක්වන්න උත්සාහ කළහොත්, අධිකරණ ක්‍රියාදාමයට හෝ පරීක්ෂණ කටයුතුවලට අගතියක් වන ලෙස ප්‍රකාශන නිකුත් කිරීමට ලෑස්ති වුවහොත්, ඒ පිළිබඳව ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක වනු ඇති බවටත් ඔහු වැඩිදුරටත් පවසයි.