September 30, 2025

ඊයේ අලුයම මින්නේරිය ආයුර්වේද රෝහලට ඇතුළු වූ වන අලියකු ජනේලයක් කඩා ඉවත් කර රෝගීන් තම බඩු බාහිරාදිය තබා ගැනීමට භාවිත කළ ඇඳක් සහ යකඩ පෙට්ටියක් විනාශ කර තිබේ.

ඒ මොහොතේ වයෝවෘද්ධ රෝගීන් කිහිපදෙනෙකු වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිට ඇත.

සේවකයන් පැවසුවේ කෑගසමින් අලියා බියගැන්වීමට කටයුතු කළ බවයි.

වන අලි බොහෝවිට රෝහලට කඩාවැදී දේපළවලට හානිකරන බවත්, එමඟින් සිදුවිය හැකි අනතුරක් පිළිබඳව ඔවුන් නිරන්තරයෙන් බිය වන බවත් ඔවුහු පවසති.

රෝහල ආරක්ෂා කිරීම සඳහා විදුලි වැටක් ඉදිකරන ලෙස නැවත නැවතත් කරන ලද ඉල්ලීම් බලධාරීන් නොසලකා හැර ඇති බවට ඔවුහු චෝදනා කරති.