September 30, 2025

ජපාන රජයේ ආරාධනයකට අනුව එහි නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (29) පෙරවරුවේ ජපාන විදේශ වෙළෙඳ සංවිධාන (JETRO) මූලස්ථානයේදී ජපානයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සමඟ වට මේස සාකච්ඡාවකට එක්විය.

ජපාන විදේශ වෙළඳ සංවිධානයේ (JETRO) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ඉෂිගුරො නොරිහිකො (ISHIGURO Norihiko) මහතාගේ සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා ජපන් ශ්‍රී ලංකා ව්‍යාපාරික සහයෝගිතා කමිටුවේ (JSLBCC) සභාපති සහ ITOCHU සමාගමේ සභාපති ෆුමිහිකො කොබයාෂි (Fumihiko Kabayashi) ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ශ්‍රී ලංකාවේ පවතින නව ආයෝජන අවස්ථා පිළිබඳ මෙහිදී පෙන්වාදුන් ජනාධිපති අනුර කුමාර දිසානායක, රට තුළ ආයෝජන හිතකර පරිසරයක් ගොඩනඟමින් වංචා සහ දූෂණය පිටුදැකීමට වත්මන් රජය ගෙන ඇති පියවරද පැහැදිලි කළේය.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආර්ථික හවුල්කරුවකු ලෙස ශ්‍රී ලංකාව සහ ජපානය අතර වෙළෙඳ සහයෝගීතාව තවදුරටත් ඉහළ නංවා ගැනීමේ අවශ්‍යතාව සහ එමගින් අන්‍යෝන්‍ය වශයෙන් හිමිවන ප්‍රතිලාභ පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වාදුන්නේය.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව ඔවුහු සමූහ ඡායාරූපයකටද එක්වූහ.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යුසූෆ්, ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව යන පිරිස සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.(PMD)