September 29, 2025

අයිස් මත්ද්‍රව්‍ය ජාවා­ර­මක් සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට පොලී­සිය සොය­මින් සිටි සම්පත් මන­ම්පේරි තමන් සතුව තිබූ ජංගම දුර­ක­ත­නය වැල්ල­වත්ත ප්‍රදේ­ශ­යේදී ධාව­නය වන දුම්රි­ය­කට තබා විනාශ කර ඇතැයි විම­ර්ශ­න­ව­ලින් අනා­ව­ර­ණය වී තිබේ.

දුර­ක­ත­නය ඔස්සේ තමා සැඟවී සිටින ස්ථානය සොයා ගැනී­මට පොලී­සි­යට හැකි­යා­වක් ඇති නිසා මෙසේ ජංගම දුර­ක­ත­නය විනාශ කළ බව ඔහු පවසා ඇත. ඒ වෙනු­වට ඔහු වෙනත් ජංගම දුර­ක­ත­න­යක් භාවිත කර ඇති අතර, එම ජංගම දුර­ක­තනය පොලී­සිය විසින් සොයා­ගෙන තිබේ. සම්පත් මන­ම්පේරි කාල­යක් භාවි­ත‍ ­කළ ජංගම දු­රක­තනය විනාශ කළත් එහි අංකය ඔස්සේ මේ වන විටත් විම­ර්ශන පැවැ­ත්වෙන බව උසස් පොලිස් නිල­ධා­රි­යෙක් පැව­සීය.

සති කිහි­ප­යක් සැඟව සිටි සම්පත් මන­ම්පේරි වල­ස්මුල්ල අධි­ක­ර­ණය හමු­වට පැමිණ භාර විය. එහිදී ඔහු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශය භාර­යට යොමු කරන්නේ දින 07ක රැඳ­වුම් නියෝ­ග­යක් මතය. එම කාලයේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශය සතුව තබා­ගෙන විම­ර්ශන පැවැ­ත්වු­වත් ඔහු­ගෙන් හෙළිවූ කිසිදු තොර­තු­රක් මාධ්‍ය­යට අනා­ව­ර­ණය නොවීය.

මේ අතර ඔහු­ගෙන් පැය 04ක කාල­යක් ප්‍රශ්න කිරී­මට බස්නා­හිර පළාත් උතුරු දිසා අප­රාධ කොට්ඨා­සය භාර­යට ගෙන දුර­ක­ත­න­යට වූ දේ ගැන තොර­තුරු හෙළි­කර ඇත. අන­තු­රුව ඔහු විසින් ගිනි අවි සහ පතො­රම් සඟවා ඇති ස්ථාන­යක් ගැන ද තොර­තුරු හෙළි­කර තිබේ. ඒ අනුව ඉකුත් සති­යේදී බස්නා­හිර පළාත් උතුරු දිසා අප­රාධ කොට්ඨා­සයේ නිල­ධා­රීන් මිද්දෙ­ණියේ ගෙව­ත්තක වළ දමා තිබී ටී 56 අවි­ව­ලට යොදන රන් ආලේ­පිත පතො­රම් ගැබක්, ටී 56 අවි­ව­ලට යොදන පතො­රම් 115ක් සහ අත්බෝ­ම්බ­යක් සොයා­ගෙන තිබිණි. එම ආයුධ වළදමා තිබී ඇත්තේ ඔහුගේ අනි­යම් බිරි­යගේ ගෙව­ත්තේය.

දින 07ක රැඳ­වුම් නියෝ­ගය අව­සන් වීමෙන් අන­තු­රුව සැක­කරු පසු­ගිය බ්‍රහ­ස්ප­තින්දා වල­ස්මුල්ල මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් පසු රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරනු ලැබීය. මෙහිදී බස්නා­හිර පළාත් උතුරු දිසා අප­රාධ කොට්ඨා­සයේ නිල­ධා­රීන් ඔහු දින 90ක් රඳ­වා­ගෙන ප්‍රශ්න කිරී­මට අධි­ක­ර­ණ­යෙන් අව­ස­රය ඉල්ලා සිටි­යේය. ඒ සම්බ­න්ධ­යෙන් විධි­මත් ලෙස ඉල්ලී­මක් සිකු­රාදා දින කරන ලෙස අධි­ක­ර­ණය විසින් පොලී­සි­යට දැනුම් දුන්නේය. ඒ අනුව වැඩ බලන ආර­ක්ෂක ඇමැ­ති­ව­රයා විසින් අත්සන් තැබූ දින 90ක රැඳ­වුම් නියෝ­ගය පොලී­සිය පසු­ගිය සිකු­රාදා අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරනු ලැබීය. එම නියෝ­ගය සලකා බැලූ අධි­ක­ර­ණය දින 90ක් සම්පත් මන­ම්පේරි රඳවා විම­ර්ශන පැවැ­ත්වී­මට අව­ස­රය දුන්නේය.

ඒ අනුව බස්නා­හිර පළාත් උතුරු දිසා අප­රාධ කොට්ඨාස භාර­යට ගත් සම්පත් මන­ම්පේරි මේ වන විට රඳවා තබා­ගෙන විම­ර්ශන පව­ත්වන්නේ කොළඹ වරාය පොලිස් ස්ථාන­යේය. එම ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පවසා ඇත්තේ මිද්දෙ­ණි­යෙන් සොයා ගත් ප්‍රශ්න­ගත කන්ටේ­නර් දෙකේ අයිස් මත්ද්‍රව්‍ය ඇති බවක් තමා නොදන්නා බවයි. බැකෝ සමන් විදේ­ශ­ග­තව සිටි­යදී වරා­යෙන් නිද­හස් කළ කන්ටේ­නර් දෙකක් ඇති බවත්, එය භාර ගන්නා ලෙස ඉල්ලී­මක් කළ බවත් සම්පත් මන­ම්පේරි පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ. ඒ අනුව තමා එම කන්ටේ­නර් දෙක මිද්දෙ­ණි­යට රැගෙන ආ බව ද ඔහු පවසා තිබේ.

පාර්ලි­මේන්තු මන්ත්‍රී නඩ­රාජා රවි­රාජ් ඝාත­නය සම්බ­න්ධ­යෙන් ද සැක­ක­රු­වෙක් ලෙස අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වෙන් මොහු අත්අ­ඩං­ගු­වට ගෙන තිබිණි. මහින්ද රාජ­පක්ෂ මහතා ජනා­ධි­ප­ති­ව­ර­යාව සිටි­යදී ඔහු ජනා­ධි­පති ආර­ක්ෂක අංශයේ ද සේවයේ නිර­තව සිට ඇත. රවි­රාජ් ඝාත­න­යට ඔහු හසු­වන්නේ යහ­පා­ලන ආණ්ඩුව සම­යේ­දීය.

ශ්‍රී ලංකා පොදු පෙර­මුණේ කුරු­ණෑ­ගල දිස්ත්‍රික් ප්‍රබල දේශ­පා­ල­න­ඥ­ය­කුගේ සමී­ප­ත­ම­යෙක් ලෙස ද කට­යුතු කර ඇති මොහු ගංජා ජාවා­ර­මට ද සම්බ­න්ධව සිට ඇතැයි විම­ර්ශ­න­ව­ලින් අනා­ව­ර­ණය වී ඇත.

පසු­ගිය කාලයේ සැඟවී සිටින අත­ර­තුර මන්නා­රමේ කේරළ ගංජා ජාවා­ර­ම්ක­රු­ව­කුගේ සහා­යෙන් බෝට්ටු­වක නැඟී ඉන්දි­යා­වට පලා යෑමට ද මොහු සූදා­නම් වී ඇති බවට සැක කරන තොර­තුරු අනා­ව­ර­ණ­යවී තිබේ. ඒ සඳහා ඔහුට සහාය දීමට ඉදි­රි­පත් වී ඇතැයි පැව­සෙන්නේ විදෙ­ස්ග­තව සිටින දරුන් නමැත්තා විසින් බව ද සඳ­හන්ය.(දිනමිණ)