September 26, 2025

ලංකා විදුලිබල මණ්ඩලය ආයතන හතරකට බෙදීම විදුලිබල අංශයේ ඒකාධිකාරයක් පවත්වා ගැනීමට මණ්ඩලය සතු හැකියාවට බලපානු ඇති බවත්, එය අනෙක් අතට විදුලි පාරිභෝගිකයන්ට අහිතකර බලපෑමක් ඇති කරන බවත් විදුලි පාරිභෝගික සංගමය චෝදනා කළේය.

සංගමයේ සභාපති එම්.ඩී.ආර්. අතුල තවදුරටත් මාධ්‍ය වෙත පැවසුවේ මෙම ආයතන හතර සමාගම් ලෙස ක්‍රියාත්මක වන අතර, ඒවායේ කොටස් පසුව විකිණිය හැකි බැවින්, ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාධිකාරය සම්බන්ධයෙන් මෙම ගැටළුව තවත් උග්‍ර විය හැකි බවයි.

ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගීතාව වැඩි දියුණු කිරීම ඇතුළු ගිවිසුම්වලට එළඹ ඇති සන්දර්භයක් තුළ මෙම පියවර සිදුවීම ගැන ද ඔහු අදහස් කළේය.

“ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ එළඹ ඇති ගිවිසුම් රජය හෙළි කර නැහැ. රජය එසේ කළේ නම්, ඉන්දියාව මෙම පියවරට සම්බන්ධද නැද්ද යන්න අපට තේරුම් ගත හැකියි. එයට ලංකා විදුලිබල මණ්ඩලය බෙදීමට, එය කොටස් සහිත සමාගම් බවට පත් කිරීමට සහ ඉන්දියාවට එම කොටස් මිලදී ගැනීමට සහ බලශක්ති අංශය ආක්‍රමණය කිරීමට විධිවිධාන ඇතුළත් විය හැකියි.” යනුවෙන් ඔහු පැවසීය.

තවද, ලංකා විදුලිබල මණ්ඩලය සමාගම් හතරකට බෙදීමෙන් විදුලි ගාස්තු අහස උසට නැඟිය හැකි බවත් ආයතන හතර නඩත්තු කිරීමේ පිරිවැය ඒවා එක් ආයතනයක් යටතේ පවත්වාගෙන යෑමට වඩා වැඩි විය හැකි වීම ඊට හේතුව බවත් ඔහුගේ අදහසයි.

මේ අතර, පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ ඉන්දියා-ශ්‍රී ලංකා ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමේ දෙවැනි රැස්වීම අඟහරුවාදා (23) ඔන්ලයින් ලෙස පැවැත්විණි.

ඉන්දීය නව හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ශ්‍රී සන්තෝෂ් කුමාර් සාරංගි විසින් ඉන්දීය දූත පිරිස මෙහෙයවන ලද අතර බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කේ.ටී.එම්. උදයංග හේමපාල විසින් ශ්‍රී ලංකා දූත පිරිස මෙහෙයවන ලදී.

සූර්ය, සුළං සහ හරිත හයිඩ්‍රජන් වැනි නැගී එන තාක්ෂණයන් ඇතුළුව පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ වර්ධනයන් පිළිබඳ දෙපාර්ශ්වය එකිනෙකා දැනුවත් කළහ.

‘එක් ඉරක්(හිරු) , එක් ලෝකයක්, එක් ජාලයක්’ යන්න ද ඉස්මතු කරන ලදී.

දැරිය හැකි සහ තිරසාර බලශක්තිය කෙරෙහි අවධානය යොමු කරමින් ද්විපාර්ශ්වික බලශක්ති සබඳතා ශක්තිමත් කිරීම සඳහා දෙපාර්ශ්වයම තම කැපවීම නැවත අවධාරණය කළහ.