September 26, 2025

පවතින වැසි තත්වය ඉදිරි දින කිහිපයේදී ක්‍රමානුකූලව අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පැවසුවේ නැගෙනහිර සහ ඌව පළාත්වලට වැසි තත්වයක් ඇති නොවන බවයි.

කෙසේවෙතත් සෙසු පළාත්වලට දැනට පවතින වර්ෂාපතනයේ ප්‍රමාණවත් අඩුවීමක් ඔක්තෝම්බර් 03 පසු අපේක්ෂා කරන බව ද ඔහු පැවසුවේය.

ඒ අනුව දැනට පවතින නිරිතදිග වැසි තත්වය ඉදිරි දින කිහිපයේදීත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.

එමෙන්ම ඔහු වැඩිදුරටත් පැවසුවේ බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ පළාත්වල සහ නුවර, නුවරඑළිය යන දිස්ත්‍රික්කවල කඩින්කඩ වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්වයන් නිර්මාණය විය හැකි බවයි.

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්මවූ වර්ෂාපතනයක් ඇදහැලීමේ හැකියාවක් පවතින බව ද ඔහු පැවසුවේය.