September 17, 2025

අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින් රුපියල් මිලියන 75කට ආසන්න වටිනාකමකින් යුත් වත්කම් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීමේ චෝදනා මත හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය ඔක්තෝබර් මස 22 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව අද(17) කොළඹ මහාධිකරණය විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ කැඳවන ලදී.

එහිදී මෙම නඩුව සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශද අධිකරණය හමුවේ පෙනීසිටියේය.

එහිදී විමල් වීරවංශ වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට අදාළ ලේඛන අධ්‍යයනය කිරීම සඳහා කාලය අවශ්‍ය බවත් ඒ සඳහා දිනයක් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියේය.

ඒ අනුව මෙම නඩුවේ සාක්ෂි විභාගය ලබන මස 22 වැනිදා කැඳවීමටද අධිකරණය නියම කළේය.

අද දින අධිකරණය හමුවේ පෙනීසිටි සාක්ෂිකරුවන්ට එදින පෙනීසිටින ලෙසත් විනිසුරුවරිය විසින් අවවාද කළාය.

2010 වසරේ සිට 2014 වසර දක්වා කාල සීමාව තුළ අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී රුපියල් මිලියන 75 කට අධික වටිනාකමකින් යුත් වත්කම් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉකුත් යහපාලනය රජය ආණ්ඩුව මෙම නඩුව ඉදිරිපත් කර තිබිණි.