September 6, 2025

වසර ගණනාවක් තිස්සේ දේශපාලනඥයන් සෑම මැතිවරණයකදීම අවංකභාවය, යුක්තිය සහ වගවීම ලබාදීමට පොරොන්දු වී ඇත. එහෙත් සෑම අවස්ථාවකම මිනිසුනගේ බලාපොරොත්තු ඔවුන් විසින් සුන්කර ඇත. විමර්ශන අතරමග නතරකෙරිණි. කොමිෂන් සභා වසාදමන ලදී. දූෂණයට එරෙහිව සටන් කරන බවට පොරොන්දු වූ එම නායකයන්ම බොහෝවිට ගැටලුවේ කොටසක් බවට පත්විය. ජාතික ජන බලවේග ආණ්ඩුව දැන් පවසන්නේ තම පොරොන්දු ඉටුකිරීමට බැරෑරුම් ලෙස උත්සාහ කරන බවයි. රජයේ මුදල් අවභාවිත කළ බවට චෝදනා ලැබ සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම, ඔවුන් මේ සම්බන්ධයෙන් බැරෑරුම් බව පෙන්වූ සංකේතයක් විය හැකිය.

රජයේ හොඳම ප්‍රකාශකයා වන ජනාධිපති අනුර කුමාර දිසානායක, සමාජ මාධ්‍යවල සහ දේශපාලනය තුළ රජය වගවීම සම්බන්ධයෙන් බෙදී ඇති බවට කරන ලද ප්‍රකාශ ප්‍රතික්ෂේප කළේය. දේශපාලන අවදානම් කුමක් වුවත්, රජය වැරදිකරුවන්ට එරෙහිව ක්‍රියාකරන බව ඔහු පැහැදිලි කළේය. හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම ගැන කතාකරමින් ඔහු මෙසේ පැවසීය: “මෙම නඩුව දේශපාලනික නොවේ. අපි අපගේ වගකීමෙන් වැළකී නොසිටිමු. මහජන මුදල් අවභාවිතා කළ ඕනෑම අයෙකුට, ඔවුන් කවුරුන් වුවත්, දඬුවම් ලැබෙනු ඇත.” මෙම ස්ථිර ස්ථාවරය පසුගිය බොහෝ පාලනයන් මගහැරි දෙයකි.

දසදහස් ගණනක් අතුරුදහන්වීම් වලට හේතු වූ අතීත මානව හිමිකම් උල්ලංඝනයන් සඳහා යුක්තිය ඉටුකරන බවද රජය පවසයි. අන්තර්ජාතික බලහත්කාර අතුරුදහන්වීම් වලට ගොදුරුවූවන්ගේ දිනයේදී, අතුරුදහන්වූවන්ගේ කාර්යාලය (OMP) විසින් පවත්වන ලද උත්සවයකදී, සභානායක සහ අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ පාලක පක්ෂයම එවැනි අපයෝජනයන්ගෙන් පීඩාවිඳි බවයි. ජනතා විමුක්ති පෙරමුණේ, එල්ටීටීඊයේ හා අනෙකුත් කණ්ඩායම්වල සාමාජිකයන්ගේ විඳිත පවුල්වලට සහ වැරදි ලෙස චෝදනා ලැබූ අහිංසක ජනතාවට යුක්තිය ඉටුකරන බවට ඔහු පොරොන්දු විය. ඔහු එහිදී මෙසේ පැවසීය: “මෙම උල්ලංඝනයන්ට මුහුණදීම කෙබඳුදැයි අපි දනිමු. සත්‍යය සහ යුක්තිය බලාපොරොත්තුවෙන් සිටින පවුල් තවමත් අපි අමතක නොකරමු. මෙම රජය කොපමණ කාලයක් ගතවුවද මෙම කාර්යය දිගටම කරගෙන යනු ඇත.”

එම අවස්ථාවේදීම, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා, අතුරුදහන්වූවන්ගේ කාර්යාලයේ කටයුතු පුළුල් කිරීමට සහ ශක්තිමත් කිරීමට රජයේ සැලැස්ම පැහැදිලි කළේය. 2000 වසරට පෙර සිදු වූ අතුරුදහන්වීම් අවම වශයෙන් 10,000ක් අතුරුදහන්වූවන්ගේ කාර්යාලය විසින් වාර්තා කරනු ඇති බව ඔහු පැවසීය, මන්ද වර්ෂ 2000න් පසු වාර්තාවූ සිදුවීම් තවමත් ලේඛනගත කෙරෙමින් ඇති බැවිනි. ඔහු එහිදී මෙසේ පැවසීය: “අතුරුදහන්වූවන්ගේ පවුල් බොහෝ කාලයක් බලා සිට ඇත. කිසිදු ජීවිතයක් අහිමි නොවන පරිදි 2000 වසරට පෙර සිට අවම වශයෙන් සිදුවීම් 10,000 ක් අතුරුදහන්වූවන්ගේ කාර්යාලය විසින් වාර්තා කර ඇත.” අතීත ජනාධිපති කොමිෂන් සභා වාර්තා, විශේෂයෙන් 2024 නවාස් කොමිෂන් සභා වාර්තාව, දැනටමත් පෙර සොයාගැනීම් සාරාංශගත කර නිර්දේශ ඉදිරිපත් කර තිබේ. එම පෙර වාර්තාවලට වසර 30-40 කට පෙර එකතු කරන ලද සාක්ෂි ඇතුළත් වන අතර, එම සිදුවීම් පිළිබඳ මතකයන් තවමත් නැවුම්ව පවතී.

සියල්ලන්ගේ සහභාගීත්වය

අතීතයේදී, දූෂණ හෝ මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් නායකයන් වගකිව යුතු බවට පත්කිරීමේ උත්සාහයන් සෑමවිටම පාහේ අසාර්ථක වී ඇත. විමර්ශන ඇදීගිය අතර, චෝදනා ලැබූවන් සාමාන්‍යයෙන් දඬුවම්වලින් බේරිණි. දූෂණයට එරෙහිව සටන් කරන බවට පොරොන්දු වෙමින් බලයට පත් වූ ආණ්ඩු බොහෝ විට එකම වැරදි දේ යළි යළි කළේය. 2015 දූෂණ විරෝධී ව්‍යාපාරය ඊට පැහැදිලි උදාහරණයකි. එය මහජන බලාපොරොත්තුවෙන් ආරම්භ වූ නමුත් විසම්මුතියක් සහ අපකීර්තියක් බවට පත්වී බිඳවැටිණි. දැන්, හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම විපක්ෂය කනස්සල්ලට පත්කර ඇති අතර, ඊළඟට තමන් වියහැකි බවට ඔවුහු බියවෙති. හිටපු නායකයන් සිරගත කරනු දැකීමට පුරුදු වී නැති මහජනතාවගෙන් කොටසක් ද, එය විසින් පුදුමයට පත්කර ඇත.

දූෂණය සහ බලය අනිසි ලෙස භාවිත කිරීම ගැඹුරින් මුල්බැස ඇති බැවින්, වගවීමට දැඩි ප්‍රතිරෝධයක් අපේක්ෂා කෙරේ. මේ නිසා, රජය ප්‍රවේශමෙන් ක්‍රියාකළ යුතු අතර, එයට හැසිරවිය හැකි ප්‍රමාණයට වඩා වැඩි යමක් භාරනොගත යුතුය. මේ වන විට, බැඳුම්කර වංචාව ඇතුළුව, ඇණහිට ඇති දූෂණ හා වංචා නඩු 400 කට වැඩි සංඛ්‍යාවක් නැවත විවෘත කර ඇත. හිටපු අමාත්‍යවරුන් සහ නායකයන් විසින් අනිසි ලෙස භාවිත කරන ලද රාජ්‍ය දේපළ ආපසු අයකර ගැනීමට ද පියවර ගනිමින් සිටී. රජයේ ක්‍රියාමාර්ගවලින් පෙනීයන්නේ, වැරදිකරුවන්ට ඔවුන් කොතරම් බලවත් වුවත්, දඬුවම් කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටින බවයි. ඉන්දුනීසියාවේදී මෑතකදී අපරාධ මහමොළකරුවන් අත්අඩංගුවට ගැනීම සහ ඉන්දුනීසියානු සහාය ඇතිව ඔවුන් පිටුවහල් කිරීම ද, මෙම උත්සාහයන් සඳහා අන්තර්ජාතික සහයෝගීතාවන් ලැබෙන බවට උදාහරණයකි.

අතුරුදහන්වූවන්ගේ කාර්යාලයේ උත්සවයේ ධනාත්මක අංගයක් වූයේ, අන්තර්ජාතික ප්‍රජාව සහ සිවිල් සමාජය යන දෙඅංශයේම සහභාගීත්වයයි. යුක්තිය සඳහා ඔවුන්ගේ දිගු අරගලයට ගරුකරමින් බොහෝ සිවිල් සමාජ ක්‍රියාකාරීන්ට ඊට ආරාධනා කරන ලදී. මෙයින් අදහස් කළේ, ක්‍රියාවලියට රජයේ ආයතන විසින් පමණක් නොව, වඩාත් විවෘත පරාසයක් ඇතුළත් වන බවයි. අන්තර්ජාතික සහ සිවිල් සමාජ සහයෝගය සමඟින්, තිරසාර ප්‍රගතියක් ලබාගැනීම සඳහා රජයට විපක්ෂයේ සහාය ද අවශ්‍ය වනු ඇත. යුක්තිය සහ සංහිඳියාව දේශපාලනයට සමීපව බැඳී ඇති ජනවාර්ගික ගැටුම සහ සිවිල් යුද්ධයේ ගැටළු සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී මෙය විශේෂයෙන් වැදගත් වේ.

ද්විපාර්ශ්වික කැපවීම

දූෂණය, බලය අනිසි ලෙස භාවිත කිරීම සහ දඬුවම් නොලැබීම මැඩපැවැත්වීම සඳහා, රජය සමාන අදහස් බෙදාගන්නා විපක්ෂ සාමාජිකයන් සමඟ, විශේෂයෙන් දෙමළ සහ මුස්ලිම් පක්ෂ සමඟ කටයුතු කළ යුතුය. මෙවැනි සහයෝගීතාවක් නොමැතිව, වගවීම සහ ප්‍රතිසංස්කරණ සඳහා වන උත්සාහයන්, විශේෂයෙන් ජනවාර්ගික ගැටුම් ගැටළු සම්බන්ධයෙන්, පාර්ශ්වයන් පක්ෂ දේශපාලනයේ සිරවී සිටිය හැකිය. පසුගිය සතියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිවිල් සමාජ නියෝජිතයන් හමුවිය. යුද්ධයෙන් පසු කරුණාවන්ත හා සාධාරණ සමාජයක් ගොඩනැගීම ගැන ඔහු කතාකළ අතර රාජ්‍ය ත්‍රස්තවාදය නැවත සිදුවීම වැළැක්වීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය.

පසුගිය මාසයේ කැබිනට් මණ්ඩලය විසින් සංහිඳියාව සහ සහජීවනය පිළිබඳ නව ජාතික ප්‍රතිපත්තියක් සහ ක්‍රියාකාරී සැලැස්මක් සඳහා අනුමැතිය ලබාදෙන ලදී. මෙය තවත් පොරොන්දුවක් පමණක් නොව, යුක්තිය ඉටුකරන, භාෂා සහ ආගමික අයිතිවාසිකම් ආරක්ෂා කරන, රාජ්‍ය සේවයේ සාධාරණ ලෙස රැකියා සහතික කරන සහ සියලු ප්‍රජාවන් සඳහා සමාන සංවර්ධනයක් සහතික කරන සැබෑ සැලැස්මක් වියයුතුය. ස්වාධීන සත්‍ය සහ සංහිඳියා කොමිසම පිහිටුවීම, යුද්ධයේ සහ පාස්කු ඉරිදා ප්‍රහාරවල ප්‍රධාන නඩු කටයුතු සඳහා නීතිමය ආයතනයක් නිර්මාණය කිරීම සහ උතුර හා නැගෙනහිර සිවිල් ජීවිතය තුළ හමුදාවේ භූමිකාව අඩුකිරීම සඳහා පැහැදිලි කාලසීමාවන් සකස් කිරීම ස්ථිර සැලැස්මකට ඇතුළත් විය යුතුය.

මේ මොහොතේ, වෙනසක් සඳහා සැබෑ අවස්ථාවක් පවතී. පැරණි දූෂණ නඩු නැවත විවෘත කිරීම, හිටපු ජනාධිපතිවරයකු අත්අඩංගුවට ගැනීම සහ අතුරුදහන්වූවන්ගේ කාර්යාලයේ උත්සවයේදී දුන් පොරොන්දු යන සියල්ලම නව බලාපොරොත්තුවක් ලබාදෙයි. එහෙත් ප්‍රතිරෝධය පැමිණෙන්නේ බලවත් කණ්ඩායම් සහ වගවීමට පුරුදු නැති පුද්ගලයන්ගෙනි. ඒ නිසා මෙම ක්‍රියාවලියට සියල්ලන් ඇතුළත් කිරීම වැදගත් වේ. සිවිල් සමාජ කණ්ඩායම්, මධ්‍යස්ථ විරුද්ධ පක්ෂ සහ ඒවායේ සාමාජිකයන්, ක්‍රියාවලිය කල් පවතින බවට පත්කිරීම සඳහා එහි කොටසක් විය යුතුය. මෙය සිදුවුවහොත්, බොහෝ කලක සිට ළඟාවිය නොහැකි යැයි සලකන ජාතික සංහිඳියාව, අවසානයේ යථාර්තයක් විය හැකි අතර, ඒ සමඟ වේගවත් ආර්ථික සංවර්ධනයක් රටට ගෙනඑනු ඇත.

(ආචාර්ය ජෙහාන් පෙරේරා)