August 28, 2025

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ තවදුරටත් ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ශල්‍යකර්මයක් සිදුකළ යුතුව ඇතැයි ජාතික රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ‘දිවයින’ට ඊයේ (27දා) යළි පවසා ඇත.

ඔහු එලෙස පවසා ඇත්තේ, රෝගීන්ගේ සෞඛ්‍ය තවත්ය පිළිබඳව බාහිර පාර්ශ්වවලට අනවසරයෙන් තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් විනය පරීක්ෂණයක් පවත්වන බව නිවේදනය කර තිබියදීය.

හිටපු ජනාධිපතිවරයා තවත් දින කීපයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබිය යුතු බවට විශේෂඥ වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර ඇතැයි පවසන වෛද්‍ය බෙල්ලන, රනිල් වික්‍රමසිංහගේ හෘදයේ කිරීටක ධමනිවල යම් අවසරතාවක් පවතින බැවින් මෙරටදී හෝ විදේශයකදී ශල්‍යකර්මයක් කළ යුතුව ඇති බවද සඳහන් කර තිබේ.

“හිටපු ජනාධිපතිවරයා තවදුරටත් ජාතික රෝහලේ රැඳී සිටිනවාදැයි තීරණය කළ යුත්තේ ඔහුගේ පවුලේ අය සහ ඔහු විසින් දැනට පවතින රෝගී තත්ත්වය අනුව ඔහුට ශල්‍යකර්මයක් කළ යුතුව තිබෙනවා. විදේශයකට යනවාද මෙරටදී එය සිදුකරනවාද යන්න ඔවුන්ගේ තීරණයක්. කොළඹ ජාතික රෝහලේ එවැනි සැත්කමකට මුහුණදීමට වසර 03ක පොරොත්තු ලේඛනයක් තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයාට විජලනය නිසා දැනට තිබූ තත්ත්වය ක්‍රමානුකූලව පහව යනවා. මේ හේතුවෙන් හෘදයටත්, වකුගඩුවලටත් යම් බලපෑමක් ඇතිව තිබුණා. මෙයට ප්‍රතිකාරයක් ලෙසයි ඉදිරියේදී ශල්‍යකර්මයක් කළ යුතුව තිබෙන්නේ. හිටපු ජනාධිපතිවරයා දුබලවීමට විජලන තත්ත්වය තදින්ම බලපා ඇති බව අපට නිරීක්ෂණය වුණා.” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.