August 28, 2025

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අදාළ නඩු විභාගය පැවැති අවස්ථාවේදී ඊයේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අසළ පැවැත්වූ උද්ඝෝෂණයට 2022 අරගලයට සහභාගී වූ ප්‍රධාන පෙළේ ක්‍රියාකාරිකයෙක් සහභාගී වී තිබේ.

Gota-Go-Home විරෝධතාකරුවන්ගේ කණ්ඩායමකට මෙන්ම පසුව ‘රනිල්-රාජපක්ෂ’ විරෝධතාවලට නායකත්වය දුන් එම ක්‍රියාකාරිකයා රනිල් හිතවාදී විරෝධතාවයට ද එම කණ්ඩායම සමඟ විරෝධතාවයේ යෙදී සිටිනු දක්නට ලැබිණි.

විරෝධතාකරුවන්ගෙන් ඇතැමකු පැවසුවේ තමන් පැමිණියේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීමට නොව වත්මන් පාලනයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලට විරෝධය පළකිරීමට බවයි.

අධිකරණ පරිශ්‍රය අසල පැවැති විරෝධතාවයට එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක ක්‍රියාකාරීහු එක්ව සිටියහ.

පෞද්ගලික උත්සවයකට සහභාගී වීම සඳහා ලන්ඩනයට යෑමට රජයේ මුදල් අවභාවිත කළ බවට එල්ල වූ චෝදනා මත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සිකුරාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

අනතුරුව ඔහුට ඊයේ අධිකරණයෙන් ඇප නියම විය.