October 10, 2025

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන සාදිකා ලක්ෂාණි නමැත්තිය ලබන 23 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඊයේ (09දා) නියෝග කළේය.

එම සැකකාරියගේ හා ඇගේ සමීපතමයන් කිහිපදෙනකුගේ නමින් පවත්වාගෙන ගිය බැංකු ගිණුම් 13ක් මේ වනවිට තහනමට ලක්කර ඇති බවත් ඉන් ගිණුම් පහක්ම පවත්වාගෙන ගොස් ඇත්තේ මෙම සැකකාරියගේ නමින් බවත් පවසමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීම් සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එකී නියෝගය කළේය.

එම බැංකු ගිණුම් පහට අමතරව සැකකාරිය නමින් ඩුබායි රාජ්‍යයේ තවත් බැංකු ගිණුම් හතරක් ආරම්භ කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් අධිකරණයට පැවැසූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් ජයවීර සැකකාරියගේ නැගණියගේ බැංකු ගිණුම් දෙකක රුපියල් ලක්‍ෂ 765ක මුදලක් ඇති බව අනාවරණය කරගෙන ඇතැයි ද පැවසුවාය.

2024, 2025 යන කාලය තුළදී එම සැකකාරියගේ පියාගේ නමින් ආරම්භ කොට තිබූ බැංකු ගිණුමක් හරහා රුපියල් ලක්ෂ 211ක් සංසරණය වී ඇති බවත් මේ සියලු මුදල් හෙරොයින් ජාවාරම්වලින් උපයාගත් මුදල් බවට සැකකරන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් ජයවීර පැවසුවාය.

තම අධිකරණය විසින් එම සැකකාරිය තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කරනුයේ ඇයට එරෙහිව එල්ලවී ඇති මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ චෝදනා සම්බන්ධයෙන් බවත්, ඇයට එරෙහිව මහාධිකරණය හමුවේ ගොනුවී ඇති හෙරොයින් ජාවාරමට ආධාර අනුබල දුන් බව කියන චෝදනා පිළිබඳව සවිස්තර වාර්තාවක් තම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරීන්ට නියෝග කළේය.

එම සැකකාරිය වයස අවුරුදු තුනක් පමණැති සිය දියණිය ද ඔසවාගෙන අධිකරණයේ විත්ති කූඩුවට ගොඩවූ අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ හා බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි ආරක්‍ෂාව යටතේ එම සැකකාරිය අධිකරණයට රැගෙනවිත් තිබිණි.