August 17, 2023

ශ්‍රී ලංකාවේ තුන්වන ශ්‍රේණියේ ළමුන්ගෙන් සියයට 85ක් සාක්ෂරතාවය සහ සංඛ්‍යාව පිළිබඳ අවම ප්‍රවීණතාවයක්වත් ලබා නොගන්නා බව යුනිසෙෆ් සංවිධානය අනාවරණය කරයි.

අධ්‍යාපන සඳහා වියදම් කිරීම අතින් දකුණු ආසියාවේ පහළම ස්ථානයට ශ්‍රී ලංකාවට ලැබී ඇති බවද යුනිසෙෆ් පවසයි.

මේ වනවිට ශ්‍රී ලංකාව අධ්‍යාපනය සඳහා වෙන්කරන්නේ රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 02කටත් වඩා අඩු ප්‍රමාණයක් වන අතර, එය අන්තර්ජාතික දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4-6වන මිණුම් ලකුණට වඩා බෙහෙවින් අඩු මට්ටමක් බවද යුනිසෙෆ් පෙන්වාදෙයි.

එමෙන්ම එය දකුණු ආසියා කලාපයේ පහළම අගයන් අතර වේ.

ඉගෙනීමේ අර්බුදය වඩාත් බලපා ඇත්තේ ප්‍රාථමික ශ්‍රේණිවල කුඩා දරුවන් සහ රටෙහි වතුකරයේ ළමුන් ඇතුළු අවදානමට ලක්විය හැකි දරුවන්ට බව යුනිසෙෆ් සංවිධානය සඳහන් කරයි.

යුනිසෙෆ් සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව පසුගිය වසර තුනක කාලය තුළ දීර්ඝ කාලීන පාසල් වසාදැමීම් සහ දරුවන්ගේ අධ්‍යාපනයට වරින් වර බාධාවීම් හේතුවෙන් පීඩාවට පත් වූ ප්‍රාථමික පාසල් ළමුන් මිලියන 1.6 කට අධ්‍යාපනය ලබාගැනීම සඳහා ජාතික වැඩසටහනක් දියත් කර ඇති බව එම සංවිධානය සඳහන් කරයි.

ප්‍රාථමික අධ්‍යාපනය සඳහා ජාතික අයවැය ප්‍රතිපාදන වෙන්කිරීමේ හදිසි අවශ්‍යතාවක් පවතින අතර, එහිදී අවශ්‍ය මානව සම්පත් කුසලතා ගොඩනගා ගැනීමට හැකිවන පරිදි, අත්‍යවශ්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සහතික කරන බවත්, දරුවන්ගේ මූලික ඉගෙනීම ඉහළ නැංවීමට අවශ්‍යවන බවත්, අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කර තිබේ.