July 9, 2026

කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 71 දෙනෙකුට ඩෙංගු උණ වැළඳී ඇති අතර ඉන් සිසුන් පස්දෙනකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක පවසයි.

වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගෙන් බහුතරයක් කලා පීඨයට අයත් සිසුන් බව පෙන්වාදුන් උපකුලපතිවරයා, පවතින තත්ත්වය සහ සිසුන්ගේ අධ්‍යයන කටයුතුවලට ඉන් සිදුවන බලපෑම සැලකිල්ලට ගෙන පීඨ කිහිපයක දේශන කටයුතු සතියක කාලයක් සඳහා ඔන්ලයින් (Online) සහ දෙමුහුන් (Hybrid) ක්‍රමවේද ඔස්සේ පැවැත්වීමට විශ්වවිද්‍යාල පරිපාලනය තීරණය කර ඇති බව සඳහන් කළේය.

ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා විශ්වවිද්‍යාලය විසින් පියවර කිහිපයක් ගෙන ඇති අතර, රෝහල්ගතව ප්‍රතිකාර ලබන සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අඛණ්ඩව සොයාබලන බවද ඔහු පැවසීය.

මහාචාර්ය කරුණාතිලක වැඩිදුරටත් කියාසිටියේ ඩෙංගු වැළඳුණු සිසුන්ගේ සුවය ලැබීමට විවේකය අත්‍යවශ්‍ය සාධකයක් වන බැවින් දේශන ඔන්ලයින් ක්‍රමයට පැවැත්වීමට තීරණය කළ බවයි.

විශ්වවිද්‍යාලය තුළ ඩෙංගු තත්ත්වය මේ වන විට පාලනය කර ඇති බවත්, උණ රෝග ලක්ෂණ පවතින සිසුන් සිටී නම් වෛද්‍ය උපදෙස් ලබාගෙන සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුගමනය කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.

කෙසේවුවද, ඩෙංගු රෝගීන් වාර්තා වීම හේතුවෙන් විශ්වවිද්‍යාලය වසාදමා නොමැති අතර අධ්‍යයන කටයුතු නතර කිරීමේ කිසිදු සූදානමක් නොමැති බවද උපකුලපතිවරයා පැහැදිලි කළේය.

මේ අතර, ඩෙංගු උණ ව්‍යාප්ත වීමේ අවදානම හේතුවෙන් මොරටුව විශ්වවිද්‍යාලයේ සියලුම පීඨ ද සති දෙකක කාලයකට වසාදැමීමට පියවර ගැනිණි.

මීට අමතරව, කොළඹ දෘශ්‍ය හා ප්‍රසාංගික කලා විශ්වවිද්‍යාලය (සෞන්දර්ය විශ්වවිද්‍යාලය) ද ඩෙංගු සහ උණ රෝග පැතිරීම හේතුවෙන් එහි පරිශ්‍රය තාවකාලිකව වසාතබන බව නිවේදනය කර ඇත. එම විශ්වවිද්‍යාලය ජූලි 13 වනදා නැවත විවෘත කිරීමට නියමිතය.