October 23, 2023

තම නිවාසවලට සිදුවූ හානිය සම්බන්ධයෙන් සකස්කරන ලද හානි තක්සේරු වාර්තාව සහ ඊට අදාළ මූල්‍ය තක්සේරු වාර්තාව ඇතුළු තොරතුරු පැය 48ක් තුළ මුදාහරින ලෙස ඉල්ලමින් මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ අවසන් අදියරේ අවසාන කොටසින් නිවාස හානියට පත්වූ ප්‍රදේශවාසීහු 200ක් මාර්ග සංවර්ධන අධිකාරියට සහ අදාළ කොන්ත්‍රාත් සමාගමට (මාගා) ඊයේ තොරතුරු ඉල්ලීම් 400ක් යොමුකළහ.

මාර්ග සංවර්ධන අධිකාරියට යොමුකළ තොරතුරු ඉල්ලීම්වල ප්‍රශ්න 18ක් අඩංගු වන අතර අදාළ කොන්ත්‍රාත් සමාගමට යොමු කළ තොරතුරු ඉල්ලීම්වල ප්‍රශ්න 16 බැගින් අඩංගු වේ.

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර වූ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ දැනට විවෘත කර ඇති කොටසේ අවසාන කිලෝමීටර ගණන වන මදටියාවල සිට කුරුණෑගල දක්වා නිවාස 400කට අධික සංඛ්‍යාවක් මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකරන අතරතුරදී හානියට පත්වූ බව එහි වින්දිතයකු මෙන්ම වින්දිත පවුල්වල එකතුවේ ක්‍රියාකාරිකයකු ද වන සංජීව කුලතිලක ප්‍රකාශ කළේය.

එම පිරිසෙන් කොටසකට මේ වන තෙක් වන්දි ලබා දී නැති බවත්, කොටසකට වන්දි ලබා දී ඇත්තේ ඉතාම අඩු මුදලක් බවත්, බරපතළ හානි සිදුවූ ඇතැම් නිවාසවලට වන්දි වශයෙන් ලබා දී ඇත්තේ රුපියල් 5000ක් , රුපියල් 10,000ක් වැනි මුදලක් බවත්, මේ සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියට, ශ්‍රී ලංකා පොලිසියට සහ මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීමෙන් පලක් නොවූ නිසා තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ප්‍රදේශවාසීන් මෙලෙස තොරතුරු ඉල්ලීම් 400ක් යොමු කළ බවත් සංජීව කුලතිලක සඳහන් කළේය.

තොරතුරු දැනගැනීමේ පනතේ 25.3 වගන්තිය අනුව පුරවැසියකුගේ ජීවිතයට හෝ පෞද්ගලික නිදහසට අදාළ තොරතුරු ඉල්ලීමකට පැය 48ක් ඇතුළත ආයතන ප්‍රතිචාරය දැක්වි යුතු බව ද, වර්ෂාව නිසා මේ වන විට මේ වන විට ඇතැම් නිවාසවල ඉරිතැලීම් විශාල වී බිත්ති බිමට පෙරළෙන මට්ටමට පැමිණ ඇති බවද, මේ නිසා නිවාසවල පදිංචිකරුවන්ගේ ජීවිතවලට බරපතළ අවදානමක් ඇතිවී තිබෙන බව ද ඔහු සඳහන් කළේය.

මෙම සිද්ධියට අදාළව මීට පෙර සංජීව කුලතිලක යොමුකළ තොරතුරු ඉල්ලීමකට අදාළ අභියාචනා විභාගයක් තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේදී ලබන දෙවැනිදා පැවැත්වීමට නියමිතය.

ප්‍රදේශවාසීන් යොමුකළ තොරතුරු ඉල්ලීම් 400ට අදාළව පැය 48ක් ඇතුළත තොරතුරු නොලැබුණහොත් නම් කළ නිලධාරියාට අභියාචනා කරන බවත්, නම් කළ නිලධාරියාගෙන් ද ප්‍රතිචාරයක් නොලදහොත් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවට අභියාචනා කරන බවත් කුලතිලක සඳහන් කළේය.

මෙම සිදුවීමට අදාළව සංජීව කුලතිලක විසින් 2020 වසරේ මානව හිමිකම් කොමිෂන් සභාවට කරන ලද පැමිණිල්ලකට අදාළ විභාගයක් ලබන මස 03 වැනිදා මානව හිමිකම් කොමිෂන් සභාවේදී පැවැත්වීමට නියමිත අතර, සංජීව කුලතිලකගේ පැමිණිල්ලක් ගැන සොයාබැලීම සඳහා මාහාමාර්ග අමාත්‍යංශයේ විශේෂ කණ්ඩායමක් 24 වැනිදා කුරුණෑගල සංචාරයක නිරත වීමටද නියමිත බවට ඔහුට ලිඛිතව දැනුම් දී තිබේ.