May 8, 2024

විදුලි බිල්පත් ගෙවීම ප්‍රමාද වීම හේතුවෙන් 2022 වසරේ සිට 2024 වසර දක්වා කාලය තුළ රතු නිවේදන මිලියන 30කට ආසන්න ප්‍රමාණයක් නිකුත්කර ඇති බව විදුලිබල හා බලශක්ති ඇමැති කාංචන විජේසේකර පවසයි.

නියමිත වේලාවට විදුලි බිල්පත් ගෙවීමට අපොහොසත් වීම හේතුවෙන් ලක්ෂ 13කට අධික පාරිභෝගිකයන්ගේ විදුලි සබඳතා විසන්ධි කර ඇති බව ද ඔහු පෙන්වාදෙයි.

පාරිභෝගිකයන් 126,000කට අධික පිරිසකගේ ගිණුම් වසා දමා ඇති බව සඳහන් කළ ඇමැතිවරයා, නව විදුලි සම්බන්ධතා ලක්ෂ 19කට ආසන්න ප්‍රමාණයක් ලබාගෙන ඇති බවද පැවසීය.

ඔහු පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ දැනට මිලියන 7.2කට අධික විදුලි පාරිභෝගිකයන් පිරිසක් සිටින බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග විසින් පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විදුලිබල හා බලශක්ති ඇමැතිවරයා එම තොරතුරු ලබා දුන්නේය.