May 24, 2026

මුදල් අමාත්‍යාංශයේ පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී වංචනිකයන් පිරිසක් වෙත මාරුකර තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදල සොයාගැනීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් ඇමරිකානු බලධාරීන්ගේ සහය ඉල්ලා තිබිණි.

ඒ අනුව සිදුකළ විමර්ශනවලදී, එම මුදලින් කොටසක් ඇමරිකාවේ ඩෙලවෙයාර් (Delaware) ප්‍රාන්තයේ බැංකු ගිණුමකට ද, තවත් කොටසක් වෙනත් ප්‍රාන්තයක බැංකු ගිණුමකට ද මාරු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

කෙසේවෙතත්, ඇමරිකානු බලධාරීන් විසින් ශ්‍රී ලංකා බලධාරීන් වෙත දැනුම් දී ඇත්තේ අදාළ ඩෙලවෙයාර් ප්‍රාන්තයේ තිබූ බැංකු ගිණුම සම්පූර්ණයෙන්ම හිස් කර ඇති බවයි.

එහෙත් අනෙක් ප්‍රාන්තයේ තිබූ බැංකු ගිණුමේ තවමත් ඩොලර් 200ක මුදලක් ඉතිරිව පවතින බවත්, එම මුදල නැවත ශ්‍රී ලංකාවට මාරුකිරීමට කටයුතු කරන බවත් ඇමරිකානු බලධාරීන් පවසා තිබේ.

රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය ක්‍රමයෙන් ඉහළ යමින් පවතින මෙවන් වකවානුවක, අහිමි වූ ඩොලර් මිලියන 2.5 ක දැවැන්ත මුදලින් අවම වශයෙන් ඩොලර් 200 ක් හෝ නැවත ලබාගැනීමට හැකි වීම පිළිබඳව භාණ්ඩාගාරයට සුළු හෝ සැනසීමක් ලබාගත හැක.