October 2, 2026

එක්සත් ජනපදය විසින් ඉරාන තෙල් වෙළඳාම ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක කරන බලපෑම් හමුවේ, හිස් වූ ඉරාන තෙල් නැව් 20 ක් පමණ ශ්‍රී ලංකාවේ නිරිතදිග වෙරළට සැතපුම් 15 ක් පමණ එපිටින් මුහුදේ සිරවී ඇති අතර, එම නෞකාවල ආහාර, ඉන්ධන සහ පිරිසිදු පානීය ජලය හිඟවෙමින් පවතින බව ද වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත බදාදා වාර්තා කර ඇත.

එම වාර්තාවට අනුව, සම්බාධක පනවා ඇති ඉරාන තෙල් ප්‍රධාන වශයෙන් චීනය වෙත ලබාදීමෙන් පසුව මෙම තෙල් නැව් තම එන්ජින් අක්‍රිය කර මුහුදේ නැංගුරම් ලා ඇත.

ජූලි මාසයේදී එක්සත් ජනපදය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය වෙත නැවතත් සම්බාධක පැනවීමෙන් පසු ඉරාන හෝ ඉරානයට සබඳතා ඇති නෞකා දුසිම් ගණනක් ශ්‍රී ලංකාව සහ මැලේසියාව ආශ්‍රිත මුහුදු සීමාවන්හි රැඳී සිටින බව වාර්තා වේ.

ශ්‍රී ලංකා බලධාරීන් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකාව ආසන්නයේ පවතින ඉරාන සහ අනෙකුත් නෞකා පිළිබඳව නිරීක්ෂණය කරමින් සිටින බවත්, ඒවා ශ්‍රී ලංකාවේ දේශීය මුහුදු සීමාවෙන් බැහැරව පවතින බවත්ය.

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සැප්තැම්බර් මාසයේදී පැවසුවේ ඉරාන නෞකා කිහිපයක් ද ඇතුළුව නෞකා 47ක් මෙම මුහුදු සීමා ආශ්‍රිතව හඳුනාගෙන ඇති බවත්, ඒවා අන්තර්ජාතික මුහුදු සීමාවේ ගමන් කරන බවත්ය.

ඉරානය වෙත එල්ල කරන බලපෑම් වැඩි කිරීමට ට්‍රම්ප් පරිපාලනය උත්සාහ කරමින් සිටින අතර, ඉරානයට අලුතින් සම්බාධක පනවා ඇති බවත්, ඉරානය සමග වෙළඳාම් කරන රටවල් සහ සමාගම්වලට සිදුවිය හැකි ප්‍රතිවිපාක පිළිබඳව තර්ජනාත්මක ලෙස අවවාද කර ඇති බවත් වාර්තාව සඳහන් කරයි.

ඉරානයේ සම්බාධක ලත් තෙල් අපනයන සහ නාවික ජාලය අඩපණ කිරීමට ඇමෙරිකාව ගන්නා උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස මෙම තත්ත්වය හඳුන්වා දී ඇත.

මෙම වර්ධනයන් හමුවේ ඉරානයට සබඳතා ඇති තෙල් නැව් විශාල සංඛ්‍යාවක් තම තෙල් තොග ගොඩබෑමෙන් පසුව ආසියානු මුහුදු තීරයේ අක්‍රියව පවතින අතර, එක්සත් ජනපද සම්බාධක හමුවේ එම හිස් නෞකාවලට නැවත ඉරාන වරායන් වෙත යෑමට නොහැකි වී තිබේ.

ඉරානයට සබඳතා ඇති නෞකා දුසිම් ගණනක් ශ්‍රී ලංකාව සහ මැලේසියාව ආසන්නයේ රැඳී සිටින බවත්, හිස් වූ නෞකාවලට නැවත ඉරානය වෙත යෑමට බාධා එල්ල වී ඇති බවත් රොයිටර් පුවත් සේවය ද මීට පෙර වාර්තා කර තිබිණි.