August 1, 2023

චීනයේ සිනොපෙක් සමාගම විසින් මෙරටට රැගෙන ආ පළමු ඉන්ධන තොගය පිරවුම්හල් වෙත මුදාහැරීම ආරම්භ කර ඇති අතර, එහි දෙවන තොගය හෙට(02) දිවයිනට ළඟාවන බව විලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇමැතිවරයා පවසන්නේ, දේශීය මූල්‍ය ආයතනවලින් විදේශ විනිමය පහසුකම් ලබාගැනීමේදී උද්ගතවන ගැටලුකාරී තත්වයන් හේතුවෙන් ඉන්ධන සැපැයුම ප්‍රශ්නගත වී තිබෙන අතර, දේශීය වෙළෙඳපොළට නව සිල්ලර සැපයුම්කරුවන් ඇතුළුවීම මගින් ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා විදේශ විනිමය අවශ්‍යතා ලිහිල් කරනු ඇති බවයි.

ඉන්ධන පිරවුම්හල් අලෙවිකරුවන් සමඟ ගිවිසුම් අත්සන් කර අවසන් වූ පසු, සිනොපෙක් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 150 ක් සමඟ සිල්ලර ඛනිජ තෙල් මෙහෙයුම් ආරම්භ කරනු ඇති බවද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මාර්ගෝපදේශ උල්ලංඝනය කරන පිරවුම්හල්, සංස්ථාවට පවරාගෙන, ඒවා විදේශීය සමාගම් වෙත ලබාදීමට සැලසුම් කෙරෙමින් පවතින බව පැවසේ.

මේ වන විටත් එසේ මාර්ගෝපදේශ උල්ලංඝනය කළ පිරවුම්හල් කිහිපයක් සංස්ථාව පවරාගෙන ඇත.