May 12, 2024

2021 මැයි මාසයේ සිදු වූ නැව් අනතුරෙන් සිදු වූ අලාභය ඉල්ලා සිංගප්පූරු අධිකරණයක ගොනුකරන ලද MV X-Press Pearl නඩුවේදී නීතිපති දෙපාර්තමේන්තුව විසින් දරන ලද නීතිමය වියදම් පියවා ගැනීම සඳහා රජය මේ වන විට ඩොලර් මිලියන 10ක් වෙන්කර තිබේ.

කෙසේවෙතත්, ප්‍රතිපාදන ලබාදී තිබියදීත්, හානි සඳහා අවසන් වන්දි ප්‍රමාණය නීතිපති දෙපාර්තමේන්තුව තවමත් ඉදිරිපත් කර නොමැත.

සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ (MEPA) සභාපති අසේල රැකව පවසන්නේ ශ්‍රී ලංකාව විසින් ඉල්ලා සිටින වන්දි මුදල පිළිබඳ අවසන් සංඛ්‍යාව තවම තහවුරු කර නොමැති බවයි.

එම අවසන් වාර්තාව ඕස්ට්‍රේලියානු උපදේශක විසින් තවමත් අවසන් කරමින් පවතින බවත් අවසාන නෛතික ඉල්ලීම ගොනු කරනු ලබන්නේ එය ඉදිරිපත් කිරීමෙන් පසුව බවත් ඔහු ප්‍රකාශ කරයි.

ඒ අනුව ඊට අදාළ නීති ගාස්තු සහ උපදේශන ගාස්තු ආවරණය කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට ඩොලර් මිලියන 10ක මුදලක් වෙන් කර ඇති බව ද සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරයා පෙන්වාදෙයි.

X-Press Pearl සිද්ධියේ හිමිකම්වලට අදාළ මුල් නඩුව 2023 අප්‍රේල් 25 වැනි දින හිමිකම් පාන්නා ලෙස ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා නම් කරමින් සිංගප්පූරු මහාධිකරණයේ ගොනු කර ඇති බව ජනාධිපති කාර්යාලය පසුගිය වසරේ ප්‍රකාශ කර තිබිණි.

කෙසේවෙතත්, එතැන් සිට මේ සම්බන්ධයෙන් යාවත්කාලීන නොවීම ගැන නීතිපති දෙපාර්තමේන්තුවට චෝදනා එල්ල වී තිබේ.

පරිසරය, ස්වභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව පවසන්නේ අවස්ථා ගණනාවක විමසීම් කළද නීතිපති දෙපාර්තමේන්තුව නීතිමය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් යාවත්කාලීන කිරීම් කර නොමැති බවයි.

සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය පවා නීතිමය නඩුව ගැන නොදන්නා බවත් ඊට හේතුව එය හසුරුවන්නේ නීතිපති දෙපාර්තමේන්තුව වීම බවත් එම කාරක සභාව පෙන්වාදෙයි.

X-Press Pearl නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් නොමැති බව පරිසරය, ස්වභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව ප්‍රකාශ කර ඇති බව ජනවාරි මාසයේ පාර්ලිමේන්තුවේ සිදු වූ ප්‍රකාශයක් මගින් සටහන් කරයි.

සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් පවසන්නේ , තමන් විසින් පත් කරන ලද විද්වත් කමිටුවේ ක්‍රියාකාරකම් සහ එහි අනාගත අවශ්‍යතා පිළිබඳ ලිපියක් මගින් නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියද, ඔවුන්ට නිසි පිළිතුරක් ලැබී නොමැති බවයි.

කෙසේවෙතත්, අලාභය තක්සේරු කිරීම අඛණ්ඩව සිදු කිරීම සඳහා අන්තර්ජාතික ස්වාධීන විද්වත් කමිටුවක් පත් කරන බවට අධිකරණ අමාත්‍යාංශයෙන් තොරතුරු ලැබී ඇති බව එම නිලධාරීහු ප්‍රකාශ කරති.

මහාචාර්ය අජිත් ද අල්විස්ගේ ප්‍රධානත්වයෙන් යුත් සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් පත් කරන ලද විද්වත් කමිටුවක් විසින් ඩොලර් බිලියන 6.5ක පමණ වන්දි මුදලක් ගණනය කර ඇති අතර, එය පසුගිය වසරේ නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමුකරන ලදී.

එතැන් සිට ඔවුන් එම ක්‍රියාවලියට සම්බන්ධ නොවූ බව මහාචාර්ය ද අල්විස් සඳහන් කර තිබේ.

ඔවුන් විසින් වාර්තා දෙකක් ඉදිරිපත් කර ඇති අතර එම දෙවැනි වාර්තාව මගින් ඩොලර් බිලියන 6.5ක වන්දිය ඉල්ලා සිටීමට දක්වා තිබේ.

හානිවලට අදාළ අංශ 35ක් තිබුණ ද මෙම අගය ආවරණය කරන්නේ අංශ අටක් පමණක් බව මහාචාර්ය ද අල්විස් කියයි.

තම කටයුතු කරගෙන යාමට අවම වශයෙන් සම්පත් රැස් කිරීමට අවශ්‍ය දීමනා ලබා නොදීම සම්බන්ධයෙන් ඔවුන් පාර්ලිමේන්තුවට ද සිය කනස්සල්ල පළ කළ බව ඔහු වැඩිදුරටත් පැවසීය.

සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ඒ.ජේ.එම්.ගුණසේකර පවසන්නේ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) විසින් දරන ලද හානි තක්සේරු සම්බන්ධ පිරිවැය සහ වියදම් ආවරණය කරන ලද නීතිමය හිමිකම් පෑම නීතිපති දෙපාර්තමේන්තුව විසින් හසුරුවන බවයි.

ගුණසේකරට අනුව, නෞකාවේ එක්සත් රාජධානියේ රක්‍ෂණ සමාගම වන London P&I Club විසින් 2022 සැප්තැම්බර් සිට 2023 ජුනි දක්වා වෙරළ පිරිසිදු කිරීමේ වියදම් ප්‍රතිපූරණය කිරීම සඳහා ඩොලර් මිලියන 1.36ක අන්තර්කාලීන ගෙවීමක් මෑතකදී තහවුරු කර ඇත.

මීට පෙර, ඔවුන් හිමිකම් අටක් ගෙවා ඇති අතර එය රු. මුළු බිලියන 2කි.

එසේම රු. රුපියල් බිලියන 3ක් ධීවර අමාත්‍යාංශයට ගෙවා තිබේ.

කෙසේවෙතත් පරිසර යුක්ති කේන්ද්‍රයේ (CEJ) සභාපති රවීන්ද්‍රනාත් දාබරේ පවසන්නේ මෑතදී ඩොලර් මිලියන 1.36ක අන්තර්කාලීන ඉල්ලීම රජයේ ජයග්‍රහණයක් ලෙස සැළකිව නොහැකි අතර එය සිංගප්පූරුවේ නඩු විභාගයේ සාර්ථකත්වයේ කොටසක් ද නොවන බවයි.

පසුගිය වසරේ පරිසර යුක්ති කේන්ද්‍රය ඇස්තමේන්තු කර තිබුණේ නඩු පැවරීමෙන් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 10ක පමණ වන්දියක් ඉල්ලා සිටිය හැකි බවයි.

සිංගප්පූරු ධජය සහිත MV X-Press Pearl යාත්‍රාව 2021 මැයි 20 වැනි දින කොළඹ වෙරළට ඔබ්බෙන් ගිනි ගැනීමකට ලක් වූ අතර, එය ශ්‍රී ලංකාවට බලපෑ දරුණුතම සමුද්‍ර ව්‍යසනය ලෙස තක්සේරු කර තිබේ.

(The Sunday Morning)